Thursday, September 15, 2016

ප්‍රේමය ඔබ මහා විකාරයක්

රිදුම් දෙන සිතුවිල්ලක් ලග
හිත තවමත් අසරණව හිදියි
අකාලයේ උපන් හැගුමක්
වරින් වර විත් සිත රිදවා යයි

ප්‍රේමය නුඹ මහා කටු ඔටුන්නක්
එය දෝතින් ගෙන ආ
ඔහුත් දැන් හිතට හරි වදයක්

ප්‍රේමය නුඹ හැමදාම ඔහොමයි
හිතුවක්කාර හිත
නොසිතිය යුතු තැන් වලම
නවත්තයි

සැරින් සැරේ හිත මත්තට
ඇවිදින් දැන් ඔහු
ප්‍රේමය නුඹ වෙනුවෙන්
මගේ දවසම ඉල්ලයි

ප්‍රේමය,
නුඹ හැමදාමත් ඔහොමයි
නුඹේ හිතුවක්කාරකම් හින්දා
මං ආයෙත් විදවයි

ප්‍රේමය,
ඔබ නම් මහා විකාරයක්
දන්නවද නුඹ මට හැමදාමත්
ගෙනෙන්නෙම දුක් කරදර ගොන්නක්..




- අරුණි කළුපහන

Tuesday, September 13, 2016

දුවගේ කොල්ලා හොයන අම්මලා වෙතයි..

කසාද ගැන කතා කරද්දි නැන්දම්මා ලේලි වලි නම් අද කාලේ අනන්තය. අප්‍රමානය.. බෙලි ගස් වල ඔය හැටි ලාටු හැදෙන්නෙම ඔය නැන්දම්මා ලේලි වලි වල තරම කියන්නය කියලා අපේ අත්තාලා මුත්තලා කතාවට කියන්නේ ද කට කහනවාට නොවේය.

නැන්දම්මලා ලේලිලා වලි ගැන ඇහුනාට අම්මලා දුලාගේ වලි ගැන නම්  අඩුය කියලා කට්ටිය ඔහේ කියෙව්වා ට ඒවා ඉතින් එහෙමමත් නෙවේය  

ලජ්ජා බයක් නැති කෙල්ලට ඊයේ පෙරේදා දවසක පරණ හිතවතියක් සෙට් උනාය. ඒ කෙලිගේ මේ ටික දොහේම ජිවන සටන් පාඨය වෙලා තියෙන්නේ " අනේ අම්මේ මට ඕනේ එයාවමයි " කියන එකය.

හේතු කාරණා හොයාගෙන හොයාගෙන යද්දී අම්මලා දුලාගේ රණ්ඩුවක්ය. වෙන මොකටවත් නෙවේය. විරිදු තාලයක් දාලා කරලා ගත්තා නම්

“ මන් කැමතී කොල්ලාට

අම්මා කැමති නෑනේ...

අම්මා කැමැති කොල්ලාට

කරගහන්න මට බෑනේ ... “

වගේ සීන් එකක් ය.

 අම්මලා ඉතින් කොල්ලාගෙ රස්සාව, තරාතිරම, පරම්පාරාව, ජාතකේ හොයලා පරස්තාව කතා කරාට  දුවලාට ඔව්වා අදාල නැති ය. හිත ගිය තැන මාලිගාව ය.. මාලිගාව ගොඩ නැගුවයින් පස්සෙ දුවලා කවුරුත් ජාතකේ හෙව්වට ඒකත් ඉතින් ඕනාකමටම නොවේය. කොල්ලගේ ජාතකේ ගෙදරට ඉදිරිපත් කරන්න ඕනාවට ය.

කෙල්ල හොයා ගන්න කොල්ලාගේ ක්ලාස් එක අම්මට මදි වෙන්නේ ඔතනදීය. කොහෙන් හෝ ලකුනු කපන එක කපනවාය. අම්මලාට දොසක් කිය්නනත් බැරිය. අම්මලා ලෝකේ  දකින ලෙන්ස් එක දෝනියන්දෑට සැපවත් පික්චර් වල පෙන්වන තාලයේ ජිවිතයක් උරුම කර දීමය.

නමුත් දෝනියන්දලා හොයන්නේ හැන්ඩ්සම් ආදරේ උතුරපු කොල්ලෙක්ය. සල්ලි නැතත් ආදරේ මල්ලක් පිරෙන්න දිය හැකි කොල්ලා අගේය. එහෙම නොවන සල්ලි තියෙන පොස් කොල්ලෙක් හොයන දෝනියන්ද ලා ද නැතිවාම නොවේ.

ලැජ්ජා බයක් නැති කෙල්ලගේ ලෙන්ස් එකට පේන විදියට නම් ලෝකේ කෙල්ලෝ වර්ග තුනකි.

එක වර්ගයක් නම් සල්ලි නැතත් කොල්ලාගෙ මුහුනත් තහඩුව කොහොම උනත් ආදරේ ඉස්මුරුත්තාවට දෙනවා නම් හිත එතැන නවත්තන කෙල්ලෝය.

දෙවෙනි වර්ගයට නම් ඉතින් කොල්ලා අනිත් කෙල්ලන්ගේ ඉරිසියාවට බදුන් කල හැකි තරමෙ හැන්ඩියෙක් විය යුතුය. කෙල්ලව ඇදුම් සාප්පු , පොෂ් පාට අවන්හල් දිගේ රවුම් දෙක තුනක් එක්කන් යන්නට තරම් සල්ලි තිබිය යුතු කොල්ලෙක් විය යුතුය. කොටින්ම කිව්වොත් කොල්ලා හැන්ඩ්සම්, බර අත්තක් විය යුතුය.

මේ දෙකටම අයිති නොවෙන තුන්වන පන්තියේ කෙල්ලන් නම් මීක් ගෑවත් හිස නොඋස්සන පුටුවක් අල්ලන් කියුටස් ගගා නොඉද ගෙදර දොරේ වැඩපල සියල්ල කරන වචනයේ නියමාර්තයෙනම අම්මාගේ හොද දුලා ය. අඩුම තරමේ අම්මාගේ වචනෙට පිටින් පුටුවකින් ඉදගන්නවත් ඔවුන් අකැමතිය.

ඒ කෙල්ලන්ය. අම්මලා ද වර්ග දෙකකි.

පලවෙනි වර්ගය බෑණා පොඩ්ඩ තමන් කැමති ජාතියේ කොල්ලෙක් විය යුතුයි කියලා හිතන අම්මලාය. කොල්ලගේ පෙනුම, පරම්පරාව, ගුණ යහපත්කම, සල්ලි බාගේ සේරම තරාදියට දාලා කිරලා මැනලා සුදුසුකම් සපුරන කොල්ලාට දෝණියන්දා තෑගී කරන අම්මලා ය.

දෙවැනි වර්ගය නම් ආදරයට ආදරය කරන අම්මලා ය. කෙල්ල හොයා ගත්තු කොල්ලා කෙල්ලට හොද නම් කෙල්ලට ආදරේ නම් අම්මටත් කේස් එකක් නැතිය. ඒ අම්මලා කෙල්ලගෙයි කොල්ලගෙයි ආදරේට ඕනා උනොත් බොක්කෙන්ම සපෝර්ට් කරන්න උනත් ලෑස්තිය .

ඔය අම්මලා දෙවර්ගයයි කෙල්ලෝ තෙවර්ගයි ගැන හිතුවාම ලජ්ජා බයක් නැති කෙල්ලට හිතෙන්නේ අනේ කාලේ වනේ වාසේ කියලා ය.

ඒත් ඉතින් පරහකට තියෙන්නේ ඔය කෙල්ලගේ ලව් එකට බකට් දාන අම්මලා කසාද බැන්දයින් පස්සේ දිග කන්නත් කෙල්ලත් එක්ක එනවද කියන එක උඩය. මගුල හොයන්නේ කරලා දෙන්නේ අම්මාය. ඒත් ඒ හොයන බෑණා කළු සුදු නෙවේ අළු චරිතයක් උනත් දිග කන්න වෙන්නේ කඹුරන්න වෙන්නේ දුවට ය. මිනිසුන්ගේ උපන් ගති ටික දිගහැරන්නේ දීගේ කෙරුනායින් පස්සේ කියන්නේ ද නිකමට නොවේය. එහෙව් එකේ අම්මා හොයලා දෙන බෑණා එක්ක දිග කන දුවට දෙයියන්ගේම පිහිටය.

කොල්ලා හොද උනොත් නම් ඉතින් හොදය. එහෙම නොවුනොත් ඉතින් විවාහය ගැන කතා කිරීමෙන් පලක් නැතිය. බටහිට සංස්කෘතිය හැඩ ගැහුණු කොල්ලෝ කෙල්ලෝ නම් කසාද පොතට හිර වී සිටිනවාට වැඩිය වෙනත් සංස්කෘතියක් අනුගමනය කරනවය.

ඒ ලිවින් ටු ගෙදර් සංස්කෘතිය ය.

ලෝකෙට පේන්න කසාදයක් කර ආයෙත් රට්ටුන්ගේ අවලාද මැද කසාදෙ කටු ගානවට වැඩිය දෙන්නෙක් කලක් ආශ්‍රය කරන්නට එක වහලයක් යටට වෙන එක හොදය. ඔවුන් කියන්නේ එහෙමය. ඉන් අනතුරුව එක්කෝ දීගේ කෙරෙනවාය. නැත්තම් දෙන්නා දෙපැත්තකට වෙනවා ය.


ඕක ඉතින් අපේ වැඩිහිටි පරම්පරාවට දිරවන්නේම නැති වීම ම වෙනම කතාවකි. ඒත් ඉතින් ඒ කාලෙත් අපේ ඔය කියන මහා ප්රෞඩ ඉතිහාසය තුල ලිවින් ටුගෙදර් සංස්කෘතියම තිබුනේ ය. ඒ කාලේ එහෙම නමක් භාවිතා නොකලාට හිත ගිය කෙල්ලව අරන් පැදුරු පෑගුවයින් පස්සේ එක පැලක් අටවාගෙන දරු මල්ලෝ හදන්නේ ද ඉතින් ඔය කියන කසාද පොතක තියා කඩදහි කොලයකවත් සලකුණු නොකරය. ඕවාත් ලිවින් ටුගෙදර් මය.

මෑත කාලින ඉතිහාසයේ නම් කසාද ගෑනි ගෙදර ඉද්දි වෙන වෙන ඈයෝත් එක්ක වෙනම ලිවින් ටුගෙදර වෙන්න දිගින් දරු මල්ලොත් හදපු උදවිය ඈත ගම් වල විතරක් නොවේය. ප්‍රසිද්ධ වේදිකාවේ පවා ඉන්නවා ය. අදටත් ඔවුන්ගේ දරුවන්ගේ උප්පැන්නේ මව්පියන් අවිවාහකය.

පෙරදිග උදවියට ඕවා මැජික් උනාට බටහිර සංස්කෘතියට නම් ඕවා සිම්පල් කතාය. ඕවා කැපිටල් කරගන්නට යන්නේ ද ඉතින් අපේ උදවිය විහින්මය. බටහිර ලෝකේ සුද්දා අනුන්ගේ කුණු තමන්ගේ ඔලුව උඩින් තියා නොගත්තාට අපේ උදවිය අනෙකාගේ කුණු බැරල් පිටින් ඔලුව උඩ තියාගන්න එක ඔය සේරටම මුලය.

මයි කාර් නම්, මයි පාකින් නම්,  කොහෙන් පෙට්‍රල් ගැහුවාත් කාටවත් මොකද කියලා කවුරු කවුරුත් හිතුවා නම් ඔය ප්‍රශ්න සේරම නතින් ය.







-          අරුණි කළුපහන -  

නමක් නොතැබූ කවියක්

හිත රිදෙව්ව වදන් අස්සෙන්
ඔබ තවමත් මදහස නගන්නේ ඇයි කිම
තැලෙන යකඩෙට වුව
සිමා මායිමක් ඇති වග
නොදන්නවාද නුබ

ප්‍රේමයත් මහා දුකක්
මතකද ඔබ කිව්වා කලෙක
මේ සා විසල් ප්‍රේමයක්
මට හරි බරක්
අද මන් කියන්නම් නුඹට

පැරණි කතන්දර කුමට ද ආයේම
හැකි තුටින් ඉන්න
ඔය රළු වදන් නොමැති තැන මට
ඔය මුවින් ගිලිහෙන වදනක් පාසා
ඇල්පෙනිති තුඩක් නම්
අනේ නුඹ මුනිවතම රකින්න..

#AK

Monday, September 12, 2016

ඔබ

රළ නගන සයුර වගෙයි ඔබ
සංයමයක් ඇතිවාම නෙවෙයි
ඉලන්දාරි ඇස් දෙක අස්සේ
හංගපු දගකාරකම් හරි රළුයි

වචන අස්සේ ආදරේ තවරපු
මනමාල හිතක් ද ඔය
සියපතින් සියපතට දිවයන
තවත් එක බඹරෙක් ද ඔබ

කාලයක් අරන් හෙමිහිට
ඇවිත් ළං උනාට
සංසාර පුරුද්දක් කියා
කියන්නද යන්නේ ඔය
නුඹත් බොරුවට

හිත කැළඹමින් සැරින් සැරේ
හැගුමන් ලග දඟකාර රටා පෑවට
රළ නගන සයුර වගේමයි ඔබ
අහංකාරකමත් හරි උසයි




ආගන්තුක හිතක්..

කවියක් ලියන්න හිතුනට
ආගන්තුක නුඹ ගැන
ලියන්නත් බැහැ එහෙමට
කවි උල්පත හිදිලා
බෝ කලකට පෙර
ඒක පරණ කතාවක්
නුඹ දන්නේ නැතිවට

අදුරේ වහින වැසි ගැන
සිතල මුහුවුනු මිදුම් සිතල ගැන
ගුරු පාරට හිත අද්දන
දුහුවිලි සුවද ගැන
කවි ලිව්වා මම කාලෙක

බිදී ගිය කවි හිතක්
කොහොම ලියන්නද
ආයෙත් හද ගස්සන
ආගන්තුක ප්‍රේමයක් ගැන

මියැදෙන්න ලංවුණු
පරණ ප්‍රේමයක් ලග පිච්චුනු
අසරණ කවි හිතකට
පණ පොවන්න බැහැ ආයෙම
මද රස්නෙට දුම් දමන
උණුහුම් කෝපි බදුනකට වුව




- අරුණි කළුපහන -

තහනම් ගහේ ගෙඩි ඇයි එච්චර රතු??

ලෝකය මැවුම්කරුවාණෝ ලෝකයේ මැවීමෙන් අනතුරුව තහනම් ගහේ ගෙඩි කන්නට එපා යැයි කියා ලෝකයේ පළමු නීතිය ආදම් සහ ඒවාට පැනවූවේය. නමුත් කවදත් කියන දේ නාහන මිනිසාගේ පුරුද්ද පෙන්නන්නටද කොහේදෝ දෙවියන් එපා කියූ තහනම් ගහේ ගෙඩි ලොව පළමු මිනිසා සහ ගැහැනිය හොඳ හැටි රස වින්දෝය. කීව දේ නාහන එකා ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි සිතූ දෙවියෝද අහක බැලුවේ ඉන් අනතුරුවය.

අතීතය ඔහොම වෙද්දී තහනම් ගහේ පලවලට ඇති ආසාව නම් මිනිසුන් කෙරෙන් තවමත් නික්ම ගොසින් නම් නැතිය. ඒ නිසාමද කොහේදෝ තහනම් ගස්වල පලදාව සොයා ගොසින් සිදුවන අකරතැබ්බ ගණනාවද දවසින් දවස ඉහළ යනවාය. මිනිසුන් ඇනකොටා ගන්නවා විතරක් නොවේය. මේ නිසාම ජීවිතයෙන් වන්දි ගෙවන්නෝද බොහෝය. එවැනි කතන්දර අසන්නට දකින්නට ඇති ආසාව නිසාම දෝ අද බිහි වන තරමක් බිහි වන්නේද තහනම් ගහේ ගෙඩි කන්නට යෑම ගැන ලියැවුණු නිර්මාණය.

ඕවා ඔහොම වෙන බව දැන සිටි නිසාදෝ කලකට පෙර ආයෙම සැරයක් දෙවිඳුන් ඇවිදින් අන් වස්තූන් ආශා නොකරව, කාම මිථ්‍යාචාරය නොකරව, අසල්වැසියාට ප්‍රේම කරව කියා මිනිසුන්ට තරවටු කර ගියෝය. ඒත් ඉතින් හැදුණේ නම් මිනිසා නොවේය.

දෙවිඳුන් කී පනත් අතරින් අපේ ඇත්තෝ අසල්වැසියාට ප්‍රේම කරවා පනත නම් ඉසමුදුනින්
පිළිගන්නවාය. නමුත් දෙවිඳුන් කී ලෙස අසල්වැසියාට ප්‍රේම කරමින් නම් නොවේය. එනම් දෙවිඳුන්ට අනුව අසල්වැසියාට ප්‍රේම කරන්නේ නම් ඔවුන් ඝාතනය කරන්නේවත්, ඔවුන්ට බොරු කියන්නේවත්, ඔවුන් සමඟ කාමමිථ්‍යාචාරයේ හැසිරෙන්නේවත්, ඔවුන් සතු දේට ආශා කරන්නේවත් නැතිය. නමුත් අපේ කාලයේ මිනිසුන් ඒ පනත පිළිපදින්නේ අසල්වැසියාට කෙසේ වෙතත් ඔහුගේ බිරියට ප්‍රේම කිරීමෙනි.

තහනම් ගහේ ගෙඩි කන්නට යෑම එහෙමත් නැති නම් අනියම් ප්‍රේමය සඳහා ලෝකය විසින් දෙනු ලබන සංකේතය රතු ඇපල්ය. කුණු ලේ පැහැති රතක් වූ එම පැහැය නම් අපූරුවට එයට ගැළපෙනවාය. මන්ද අනියම් ප්‍රේමයන් බහුතරයක්ම අවසන් වන්නේද මිනී මරා ලේ විසුරුවා හැරීමෙනි. ලේද ඉතින් ඇපල් රතු පාට බව කිව යුතු නම් නොවේය.

පසුගිය දවසක මහ දවාලේ බදුල්ල නගරයේදී මිනිහකුට පිහියකින් ඇන කෘෘර ලෙස මරා දැමුවේ දෙනෝ දාහක් ඉදිරියේය. ඊට හේතුවද ඉතින් අනියම් ප්‍රේම සම්බන්ධතාවකි. කෙසේ වුවත් එක මිනිසකුවත් මිනී මැරුම නවතන්නට එක අඩියක් එසවූයේ නම් නැතිය. හොඳින් බලා සිටියා පමණකි. ඒද ඉතින් මිනිසුන්ගේ හැටිය.

ලංකාවේ බහුතරයක් පවුල් අවුල් වන්නට හේතුවද මෙම අනියම් ප්‍රේමයන්හි පැටලීමය. ඉස්සර කාලේ නම් ගම් දනව්වල ඕවා සාමාන්‍ය සිද්ධීන් ගණයට දමා තිබුණද අද කාලේ සිදුවන මිනී මරා ගැනීම් හේතුවෙන් ඒවා නම් තවදුරටත් සාමාන්‍ය සිද්ධීන් හැටියට ගණන් ගත යුතු නැතිය.

ප්‍රේම කළාට නම් ඉතින් කාටත් ‍ෙදාසක් කියන්නට නම් බැරිය. එය මිනිස් අයිතිවාසිකමකි. නමුත් ඉතින් නීත්‍යනුකූල නොවුණු ප්‍රේමයන්හි පැටලීම නම් ජංජාලයකි. රාජකාරි කටයුතු අවසන් වෙන වෙලාවට නම් ඔය අනියම් ප්‍රේමයන් කෝච්චිවල බස්වල ඕනේ තරම් දැකගත හැකිය. පාසලේ ගුරුවරුන්ද ඔය අනියම් ප්‍රේම කුලකයේ සාමාජිකයන් වෙන වෙලාවල් තියෙනවා. ඕවා ඉතින් පාසල්වල දරුවන්ටද රහස් නොවේය. ඕවා බලන් ඉන්න එකේ දෙකේ පුංචි දරුවෝද ප්‍රේම සම්බන්ධතා පටන් ගන්නේ ටීචර්ලාව අනුකරණය කරන්නටය. ඉතින් දවසක ඒ දරුවන්ගේ ජීවිතද අඳුරේ වැටෙන්නට ඉඩ ඇති බව නම් කිව යුතු නොවේ.

ඒ වගේම දැන් කාලේ පාසල් සිසු සිසුවියන්ද විටෙක මෙම අනියම් ප්‍රේම කුලකයේ සාමාජිකයෝය. ස්ථීර වූ එක් ප්‍රේමයක් තබා ගන්නා අතරේ තවත් අනියම් ප්‍රේමයන් දෙක තුනක් තබා ගන්නේ ඉතින් විනෝදෙටය. නමුත් ඕවා හසු වූ දිනෙක කොහොමින් කොහොම වේද කියා දන්නේද දෙවියෝම පමණකි.

ඉස්සර රජ කාලේ රජවරුන්ද මේ බහු ප්‍රේමයන්හි නියැළෙන්නට හරි රුසියෝය. ඒ නිසාම රන්, රිදී, යකඩ දෝලි කියා ගෑනු දෙතුන් දෙනා සහේට ගත්තා විතරක් නොවේය. දකින දකින ගැහැනි ගෙනැවිත් තියා ගන්නට අන්ත--පුරය කියා එකක්ද නිර්මාණය කළේය. රජතුමන්ට කෙතරම් ගැහැනුන් උන්නාද කීවොතින් සමහර අන්ත--පුර කාන්තාවන් ගෙනාව දවසින් මතු රජුව දෑසටවත් දැක නැතිය. අඩු තරමේ රජුටවත් ඔවුන්ව මතක නැතිය. රජු විතරක් නොවේය. රජ්ජුරුවන්ගේ ගෝල බාලයෝ වෙච්ච මැති ඇමැතිවරුන්ද ඒ කාලයේ ඉඳන්ම රජතුමන්ව අනුකරණය කරනවාය. රජතුමන්ලා කෙසේ වෙතත් මැති ඇමැති ගොල්ලන්ගේ කෙරුවාවට නම් අද කාලෙත් උදාහරණ ඕනේ තරම්ය.

අනුකරණයට ආසාව ඇති නිසාම ඕවා බලන් ඉන්න ඇමැති ගෙදර සේවකයාගේ පැටිකිරියත් ඔය වගේම වෙන්නට පුළුවන්ය.

නමුත් ඉතින් සෑම දරුවෙක්ම, බිරියක්ම සැමියෙක්ම මේ අනියම් ප්‍රේමකුලකයේ සාමාජිකයෝ කියා අපි නොකියමු. අනියම් ප්‍රේමයන්හි නොපැටලී ලස්සන පවුල් ජීවිත ගත කරන අය ඕනේ තරම්ය. නමුත් සමහරුන් අරහෙමය. ඒවාට නම් ඉතින් ජන්මෙට වඩා පුරුද්ද ලොකුද නැත්නම් පුරුද්දට වඩා ජන්මෙ ලොකුද කියා අපි නොදනිමු. නමුත් කොතැනක හෝ වැරැද්දක් ඇති බව නම් පේනවාය.

එක්කෝ ප්‍රේම කරන කෙනා දත යුතුය. නැත්නම් ප්‍රේමය ලබන කෙනා දත යුතුය. එසේත් නැතිනම් ඉතින් ජීවිතය අත හරින්නට වුව සූදානම් විය යුතුය. තීරණය ඇත්තේද ඔවුන් සතුවමය. නමුත් ඔවුන් කුමක් කළද කීවද දුක් විඳින්නේ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ හිත මිතුරන්ය.

අරුණි කළුපහණ



මක්ක වෙනවාද වැඩේ කෙරෙනවා නම්...


මේ දවස්වල අවමඟුල් ගෙදරකට වුණත් පාන්දර ජාමේ තනි පංගලමේ ගිහින් එන්නට නම් බය වෙන්නට ඕනෑ නැතිය. හැම පාරකම ලයිට් කණුවක් කණුවක් ගාණේ තාප්පයක් තාප්පයක් ගාණේ සිරියාවන්ත මුහුණු ටිකක් මුර සේවයේ යෙදෙනවාය. පුංචි එකෙක් නම් මේ කට්ටියව දැකලා දත් බෙහෙත් ඇඩ් එකක්ද අම්මේ කියලා ඇහුවත් ඉතින් සිනා වෙන්නට කාරි නැතිය. ඕනෙ කෙනෙක්ට එහෙම හිතෙනවාය. ඒ කෙසේ වෙතත් ඒ මූණු ටික දැක්ක ගමන් හොල්මන් නම් රෑ දෙගොඩ හරියේ එළියට බහින්නට නිකමටවත් හිතන්නේ නැතිය.

මහ රෑ විතරක් නොවේය. දවසේ පැය 24 පුරාම මේ ඇත්තෝ පාර දිගට මුර සේවයේ යෙදෙනවාය. ඒ ද තනිවම නම් නොවේය. පවුල් පිටින්ම ඇවිදින්ය. නෝනලා, මහත්තයලා, තාත්තා, දුවලා, පුතාලා විතරක් නොවේය. එකම පවුලේ හතර පස් දෙනාම එක තැනකය. මේ සිරියාවන්ත සිනාවන් ටික දැක්කත් සමහරුන්ගෙ බඩ කට පිරෙනවාය. තවත් සමහරු නම් මේ මුර සේවයේ යෙදෙන්නන්ගේ අම්මාගේ අප්පාගේ ඉඳන් පරම්පරාව මතක් කරන්නේ අනවසරයෙන් ඇවිත් ගෙදර තාප්පේ ඉඩ අල්ල ගත්තු එකටය.

හැබැයි ඉතින් ඔය දෝස් මුර නම් තඹ සතේකට ගණන් ගන්නේ ඔය ඇත්තෝ නම් නොවේය. ඊටත් වැඩිය රාජකාරිය උතුම්ය.

"තාප්පයක බලෙන් සිටියාට මක්ක වෙනවාද වැඩේ කෙරෙනවා නම්."

"අනෙක ඉතින් එහෙන් මෙහෙන් කඩා ගත්තු සල්ලිවලින් ගහගත්තු මූණු ටික තාප්පෙක අලෝගන්නේ නැතිව කුස්සිය මුල්ලේ ගහගත්තාය කියලා කවුරු බලන්නද"

ඔය වගේ කතා එහෙන් මෙහෙන් හීනියට මාරු වෙනවා අපිටත් වෙලාවකට ඇහෙනවාය.

ඔය සේරම සේවය හෙට අනිද්දාට ඇවිදින් යන්නට එන දියවන්නා තරණය නිසාවෙනි. ඇතුළෙම හිටපු ඇත්තෝ එළියට ඇවිදින් කඩදාහි කොළ ටිකකුත් එයාලම ලකුණු කරගෙන ආයෙම දියවන්නාව තරණය කරන් ඇතුළට යන්න යනවාය. ඊටත් පස්සේ ආයේ ඒ ඇත්තන්ව හැබැහින් දැක ගන්න නම් තව අවුරුදු පහ හයක් බලන් ඉන්නට වෙනවාය. ඒවා ඉතින් එහෙමය. ශාරුක් ඛාන් ඇවිදින් කොළඹ කොටුව මැද්දෙන් පයින් ඇවිදින් ගියත් මුර සේවේ කරන අර ඇත්තන්ව නම් දැල් දාලවත් අල්ලන්නට හිතන එකත් අපරාදේය. ඒ තරම් දුර්ලභය. හැම තැනම හැමදාම නැතිය. මේ නිසාවෙන් මේ දවස්වල පික්චර් එකක් බලනවටත් වැඩිය ආසාවකින් ලංකාවේ ඇත්තෝ මේ නාඩගම් ටික බලාගන්නට හොඳ විපරමෙන් ඉන්නවා ය.

ඔය සේරම අස්සේ මේ දවස්වල හතර අතේ කැලෑ පත්තරය. පෙට්ටගම් අස්සේ හංගලා අගුල් දාපු සමහර කතන්දරත් මේ කාලෙට එළියට ඇදෙනවාය. මඩ නාගත් කල රජකමටත් සුදුසුය කියලා ඉතින් ඉස්සර කාලේ ඇත්තෝ කීවේ නිකමට නම් නෙවේ බව පැහැදිලිය. වැඩියෙන්ම මඩ ටික නාගත්ත එහෙමත් නැතිනම් හොඳම කතා ටික හදා ගත්තු කෙනා ඉහළින්ම දියවන්නාව තරණය කරනවාය. ඒක ඉතින් මේ සිස්ටම් එකේ හැටිය.

සමහරු ඉතින් ඔය මඩ, උපේක්ෂාවෙන් විඳ දරා ගෙන සිටියද සමහරු නම් දුම්මල වරම ගත්ත කට්ට¾ඩියන්ටත් හපන්ය. වේදිකාවල මහමඟ විතරක් නොවේය, මාධ්‍ය හරහාද කෙහෙවලු පටලා ගන්නවාය. ඕවා ඉතින් ඔහොමය. දියවන්නාවට යන්නට නම් ලැජ්ජා, බය කියන නහර දෙක කපාගෙන සිටීමද අමතර සුදුසුකමක්ය.

සාමාන්‍යයෙන් රටක වෙසෙස් අවධානයක් යෙදෙන කරුණක් වෙච්ච පාසල් අධ්‍යාපනය පවා මේ දියවන්නා තරණයට දෙවැනිය. ඒ නිසාවෙන් මෙදා කපේ අවුරුදු 13ක් පාසල් ගිහින් ඉගෙන ගත්තු ළමයින්ගේ ජීවිතය තීරණය කරන උසස් පෙළ විභාගයත් දෙකටම කඩලාය. මඩ නාපු කට්ටියට මේවා වගේ වගක් නැති වුණාට මෙයින් තැළෙන්නේ විභාගෙට ඉන්න අසරණ ළමයින් ටිකය. විභාගයක් අස්සේ මනාප පොරයක් තියලා ඩෙගා නටන රටක් වේ නම් දැන් ලෝකෙට අපූරු උදාහරණ තියෙනවාය.

ඕවා ඔහොම වුණාට සමහරුන්ට නම් මේ දවස්වල ගෙදරට එන ඥාති සමූහයා නිසා ඔය සේරම අමතකය. අමතකමත් නොවේය. අමතක කරලාය. බක් මහේ නෑගම් යනවාටත් වැඩිය ආදරෙන් ගෙදරට ගොඩ වෙන ලේ ඥාතීන් නොවන ඥාති සමූහයාගේ ආදරය දැක්ක ගමන් සමහරුන්ට ඕවා අමතක වෙන එකයි අමතක කරනව කියන එකයි හරි සිම්පල්ය. බක් මහේ අවුරුද්දට ගෙදරට එන ලේ ඥාතීන් අරන් එන චීත්ත කෑලි දෙක තුනටයි බිස්කට් පෙට්ටි ටිකටයි වැඩිය ඉතින් මහා ගල් පර්වත කඳුවලින් වට වෙච්ච ගම්වල වරායවල් හදන හීනේ හරි ඉහළය.

දැන් කාලේ ඉබ්බාගෙන් පිහාටු ගන්නවාටත් වැඩිය ගල් පර්වත හිල් කරලා මුහුදෙන් වතුර ටිකක් කඳු මැද්දට අද්ද ගන්න එක නම් හරිම ලේසිය. අනෙක ඉතින් කවුරුත් මොනවා කිව්වත් අවුරුදු හය හතකට සැරයක් තමන්ව බලන්නට එන ලේ ඥාතීන් නොවන ඥාති සමූහයාව පිළිගන්න එක මහා ඉහළින්ම කළ යුතුය.
ඕවා ඔහොම වෙද්දි එක රෝස්පාන් කාල දෙකට කඩන් කාලා එකට වැඩ ටික කරන් හිටපු අපේ එවුන් මුහුණට මුහුණවත් නොබලා ෆේස්බුක් හරහා මරා ගන්න හැටි දැක්කාම කලකිරෙනවාය.

දියවන්නා තරණය කරන ඇත්තෝ දියවන්නාවත් තරණය කරගෙන ඕනේ තැනකට යන්න යාවිය. ආයේ උන්දැලා එගොඩ කරවන්න බෙරිහන් දුන්න මිනිසුන් දිහා ඇහැක් ඇරලා බලන්නට හිතන්නෙවත් නැතිය. ඒ කාලෙට ඒ ඇත්තන්ට ගෙදර බේබිලා ටිකගේ අනාගතය හදන්න තියෙනවාය. මේ දිහාවේ ඇවිදින් යන්නටවත් එන්න වෙලාවක් නැතිය.
ඉතින් මොකට අපේ එවුන් ඒ ඇත්තෝ වෙනුවෙන් මරා ගන්නවාද කියා නම් බලන් ඉන්න අපිට හිතෙනවාය. ඉන්න කාලේ එකා වගේ හොඳින් ඉන්නවා මිසක කොහෙවත් ඉන්න මිනිසුන්ගේ බෙදීම් නිසාවට කියවිලි නිසාවට මේ වල ඉන්න මිනිසුන් ඇන කොටා ගැනීමත් විහිළුවක්ය.

අන්තිමට දියවන්නාවෙන් එහා පැත්තට ගිය දවසට මේ පැත්තේ මරා ගත්ත ඒ ඇත්තෝ එකට කති බොති තුරුල් කරන් නටති. උන් නිසාවෙන් ඇනකොටා ගත් අපේ එවුන් සදාකාලිකව හතුරන්ව කල් ගෙවති.

හොඳටම අන්දන්නා සහ හොඳටම ඇන්දෙන්නා තෝරන මේ කාලයේදී ඔය පලඳනා දෙකෙන් එකක්වත් දා ගත නොහැකිව සිටිය හැකි නම් ඉතින් හරි අගනේය.

අරුණි කළුපහන