Sunday, May 19, 2013

නුඹේ මළගම දා නොදන්න අකුරින් ලියු පෙම් කවිය


 " නිසලි, අලුතින් ලියපු කවි එහෙම නැද්ද ? " කියාගෙන ඔහු හැම සති අන්තයකම මගෙන් විමසද්දී ඔහුගේ දෝතට අලුත් කවියක් දෙන එක මට කල් යද්දී අමතක කරන්න බැරි උනා. එත් මට හැමදාම තිබුණු කුතුහලය ඔහුට දිග හරිද්දී ඔහු කිවුවේ මම ආසයි ඔයා කවිකාරියෙක් වෙනවාට කියලා. ආයෙත් දවසක ඔහුගෙන් ඒ ඇයි කියලා අහද්දී ඔහු කිවුවේ හිත කිරි ගැහෙන පිළිතුරක්. හැබැයි ඒත් හරි සැහැල්ලුවකින් හැබැයි ඒ සැහැල්ලුව තුල සියුම් දුකක් තිබෙන බව නම් මට තේරුම් ගන්න අපහසු උනේ නෑ.

  " ඇයි දන්නවාද ? මම මැරුණු දවසක මගේ සොහොනේ කවියක් ලියන්න එතකොට ඔයාට පුළුවන් වෙනවානේ නිසලි " කියලයි ඔහු කිවුවේ.

 " මොකක්ද "  මට මගේ සවන් අදහගන්න බැරි වුනත් මම මුලින්ම හිතුවේ ඒක විහිලුවක්  කියලයි. ඒ අවිහිංසක නම් ඔහුගේ ඊලග පිළිතුරින් ඒක විහිළුවක් නෙවේ කියලා මට තේරුම් ගියා.

 " ඔයා දන්නවද නිසලි, මහගමසේකරව , එයාට මිනිස්සුන්ගේ හිත් හරි අපුරුවට කියවන්න දන්නවා. මම හරිම කැමතියි. මගේ සොහොන් එයාගේ මා මිය ගිය දවසක කවිය ලියනවට ඒක හරිම ලස්සනයි. ඔයා දන්නවාද නිසලි ඒ කවිය "

  මම නෑ කිවුවේ නොදැන හිටියට නොවේ. ඒ කටුක වේදනාව තව පාරක් මට අහන්න බැරි නිසා. ඒත් ඔහු ඒ කවිය හරි අපුරුවට ආයෙත් සැරයක් කියෙවුවා.

       මා මිය ගිය දවසක සොහොන් කොතේ
       ලියන්න පෙම් ගීයක් නොදන්න අත් අකුරින්
       අඩ සද පායා එන සිතල රැයක
       රැහැයියන්ගේ රැව් මැද එතකොට
       ඒ ගී හඩ මට ඇසේවි
       මේ ලොවේ යම් කිසිවෙකු
       මා හට පෙම් කළ බව
       ඒ ගී හඩ මට කියාවි

ඒ හඩ වියකි යද්දී මගේ දෙනෙත් වලින් ආයෙත් කදුළු වැල් ගලා ගියේ අහේතුවකට නොවන බව ඔහුට තේරුම් ගියත් ඔහු නැවතුනේ නෑ.

 " දන්නවාද නිසලි මම මහගමසේකරගේ කවියේ හරියට ආදරේ කරන තැනක් තමා නොදන්න අකුරින් කියන කොටස. එක මගේ ජිවිතේට ගොඩක් එකතුයි නිසලි. මම දන්න යාලුකමට වඩා මම කවදාවත් නොඉල්ලපු නොවිදපු ඒ ආදරේ නොදන්න අත් අකුරකින් මගේ ජිවිතයට අලුත් විදියකට ලං වෙනවට මං කැමතියි නිසලි. "

 අවිහිංසකගේ වදන් වලට මම නිහඩ වුනත් මහගමසේකර හරි අපුරුවට ඔය සිත අකුරු කර තිබුන බව මට නිසැකයි.

 ඔහුට මා මොනතරම් ආදරේ කලාද එත් ඒ ආදරේ ඔහු හමුවේ දිග අරින්න නොහැකි උනේ ඇයි කියලා මට තමා තේරුම්  ගන්න බැ. සමහර වෙලාවට මම හිතුවා ඔහුගේ ගුප්ත කවි කතාවල ඉන්නේ වෙන යුවතියක් කියලා. ඒ කොහොම වුනත් එදා ඔහු අවසන් වරට මා හමුවෙලා දෙසතියක් ගෙවිලා ගිහින්. ඒ වගේම දයිවයේ සරදමකට වගේ වැළදුණු ඔහු ලොවට නොකියා සැගවූ රෝගයක් අවිහිංසක නම් ඔහුව රැගෙන යලි නොඑන්න ගිහින්.

තව මොහොතකින් මළ හිරු ක්ෂිතිජ ඉමේ සැගවී යාවි. සොහොන් කොත් අතරේ ඔහු තනි කරමින් මිනිසුන් එකා දෙන්නා නික්ම යන්න පටන් අරගෙන තිබුනත් මම තාමත් සොහොන පාමුලින් හිදගෙන සොහොන් කොතේ ලියවී තිබුණ මහගමසේකරගේ කවි පෙළ දිහා බලන් හිට්යේ දෙනෙත් කදුලින් බොද වෙද්දී.

 ඇයි ඔහු එදා මහගමසේකරගේ කවිය ගැන මට කියාදුන්නේ කියලා මම තේරුම් ගන්නට සොහොන් කොතේ කැටයම් අකුරින් ලියැවී තිබුණ මහගම සේකරගේ කවිය දෙස බලද්දී මම බොද වුනු දෙනෙතට අකුරු දෙස නෙවේ ඒ අසල තිබුණු හතරට පහට නැමූ කඩදාසිය දෙසයි.

මොහොතකට පෙර ඔහුගේ මිතුරා තබා ගිය කඩදාසිය ඔහු තම නික්මයාමට පෙර ලියුවක් බව මිතුරා පැවසුවා. ඔහු මරණාසන්නව නිසලිට දෙන්නයි ලියාදුන් එය විවර කරන්නට සැලෙන ඇගිලි තුඩු වලින් සැරසෙද්දී මා නෙත් යොමු උනේ.කඩදාසිය පිට පැත්තේ ඔහු මුතුවන් අකුරින් ලියා තිබුණු මා දයාබර නිසලි යන්න දෙසයි. අවිහිංසක සරත්සේකර නම් වුනු ඔහු මෙසේ කියා තිබුණා.

සසරින් සසර මා
සමගම නුඹ රැදෙන්න
එහෙත් මෙවන් සමයක මෙන්
නුඹ හැර නොයන්න
හැකි වන්නැයි පතන්න

ජනිත වුනි නුඹ දුටු දින
සිත් ගැබයේ ප්‍රේමය
මා මළගම මා අසල
ලියැවී ඇති බව දැන
කිසිදා පැවසිය නොහැකි වුනු
මා නුඹට පිදු ප්‍රේමය

එනමුදු පැවසිය නොහැකි වු පෙම
සිත් දරාගෙන මම හැම දවසකම
නුඹ හා පියමන් කලේ
නුඹේ සුවද තනි සිතකින් විද
නිහඩව නුඹට පෙම් කරන්න

මා මළගම් ගිය පසු
නුඹ මා හට පෙම් කල බව
ලොවට හඩගා කියන්නට
හැකිනම් නොදන්නා අත් අකුරින්
මගේ සොහොනේ පෙම් කවක්
ලියන්න මා සිහිකර

(2009 වසරේ ඒ කියන්නේ මම 10 වසරේදී ලියපු මගේ පලවෙනි කෙටි කතාව )


9 comments:

  1. ලස්සණ කතාවක්, අරුණි. ඒත් ඒ කතාවට වඩා වගේ හිත් ගත්තේ ඔහුගේ කවි පෙළ!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ :)

      Delete
  2. ලොකු බරක් තියෙන කවියක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ :)

      Delete
  3. 10 වසරේ දරුවකුගේ සාර්ථක නිර්මාණයක්නේ..බොහෝ දුර ගමනක් යන්න හැකියි.. දිගටම ලියන්න වෙර දරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාමේ.. පුංචි කාලේ ලියපු එකක් නිසා හිතුවේ නෑ කවදවත් එය මෙතරම් දුරට හෝ සාර්ථක වේවි කියලා :)

      Delete
  4. ඔයා දක්ෂයි නංගො

    ReplyDelete