Saturday, February 1, 2014

_ දුවිලි සුවද _


ඉස්සර මං පුංචි කාලේ අපේ ගෙවල් වලට යන්න තිබුනේ ගුරු පාරක්... ඒ ගුරු පාර අපේ ගෙවල් පහු කරගෙන තව ගොඩක් දුර ගියා. තවත් අයගේ ගෙවල් වලට පාර කිය කියා...

ඒ දවස් වල ඒ ගුරු පාර දෙපැත්තේම එක එක ජාතියේ මහා ගස් ගුරු පාරට සෙවණ දීගෙන හිටගෙන උන්නා. ඒ සමහර ගස් වලින් වැටුණු හුලං කුරුල්ලෝ ගුරු පාර පුරාම තිබුණා.. ඉස්සර පුංචි කාලේ මගේ එකම ආසාව උනේ හුලං කුරුල්ලෝ අහුලන එක.. හුලං කුරුල්ලාව අහසට විසි කරාම කැරකිලා කැරකිලා  ආයෙම පහලට එන එක බලන තරම් ආසාවක් මට වෙන තිබුනේ නෑ..

ඉස්සර ඉස්කෝලේ යන සිසුසැරිය සීටිබි බස් එක එන්නේ ඔය ඔය ගුරු පාර පටන් ගන්න තැනට... ඉතින් එතැනට අපේ ගෙදර ඉදන් ගෙවල් තුන හතරක දුර යන්න ඕනා.. ඒ යන ටික යන්න අනිත් අය විනාඩි තුන හතරක් ගත්තාට මට විනාඩි 10 කට වඩා ගියා..

මොකද මට ඕනේ වුනේ නෑ පුංචි ගුරු පාරේ වගේම අවට පරිසරයේ තියෙන එක දෙයක් වත් මග හැර ගන්න..

පුංචි මං ඒ පාරේ තිබුණු සමහර දේවල් වලට නොසෑහෙන්න ආදරේ කරා.

ඒවායින් එකක් තමා දුවිලි සුවද... කාෂ්ටක අව්වට පිච්චි පිච්චි කරවුණු මහා පොලවට හවස් වෙද්දී එක දෙක වැහි බින්දු  වැටෙද්දී ගුරු පාරේ බොරළු කැට වලට මුසු වුනු වැහි සීතලත් එක්ක නැගෙන දුවිලි සුවදට අවුරුදු පහ හයක පුංචි එකෙක් වෙලත් මං ආදරේ කළා..

වැහි කාලේට ගුරු පාර දෙපැත්තේ ගුරු පාරයි වත්තේ මායිමයි වෙන් වෙන තැන පස් ටිකක් අයින් කරලා හදපු කාණු වැහි වතුරෙන් පිරිලා ගලන් යන කොට තැනින් තැන තියෙන පුංචි වැව් පොකුණු වලින් පැනගෙන එන මාළු පැටව්, ඒ අස්සෙන් රිංගන පුංචි ඉස්ගෙඩි අල්ලන්න පොල් කට්ටක් අරන් වතුරට බැහැලා පුංචි මාළු පැටියෙක් ඉස්ගෙඩි යෙක් පොල්කට්ටට දාගෙන තියන් ඉදන් අයිති කර ආසා වුනත් උන්ගේ පවුලෙන් උදුරා ගන්න බැරි දුක ලපටි හිතට දැනුනු නිසා ආයෙම වතුරට දාපු අතීතයක් තිබුණා..

හැම වැහි කාලෙකම මාළු පටවුන්ටයි , දුවිලි සුවදටයි ආදරේ කළා වගේම කාෂ්ටකයෙදී ගතයි හිතයි පුච්චලා දාන්න හදන අකීකරු අව් සැරටයි නපුරු කාෂ්ටක හුලගයි එක්ක තරහා වෙන්න තරම් නපුරු කමකුත් මගේ ලපටි හිත් කොනක තිබුණා..

අපේ ගුරු පාරට මම පුංචි කාලේ කවුරුත් කිව්වේ දෙවැට පාර කියලා.. ඒ දෙවැට පාර දිගේ උඩ පැන පැන නට නටා හිතත් එක්ක දොඩමලු වේවි  අවුරුදු දහ තුනක්ම ඉස්කෝලේ ගියා.. ඒ කාලේ පුංචියට තිබුණු ගස් මාත් එක්කම ටික ටික ලොකු උනා. සමහර ලොකු ගස් අනිත් පුංචි ගස් වලට ඉඩ දීලා යන්නම ගියා..  ගුරු පාර දිගට ඉස්සර මං පුංචි කාලේ වැටිලා තිබුණු සුළං කුරුල්ලෝ වෙනුවට ටික ටික කල් යද්දී මුළු ගුරු පාර ම මැයි මල් වලින් වැහිලා ගියා. සමහර කාල වලට ඇහැල මල්..  තවත් කාල වලට අරලියා මල්..

ඒ කොහොම වුනත් ඒ කාලේ තිබුණු මාත් එක්ක දොඩමලු වුනු ඒ ගස් දැන් ගොඩක් වියපත්.. . තව ටික කාලෙකින් එයාලත් යන්න යාවි. හරියට ගුරු අනිත් අය කිව්වා විදියට දෙවැට පාර, තාර පාරක් වුනා වගේ..

ඉස්සර ගස් වල අතු රැහලා, ඒවායින් හදලා තිබුණු වැට මායිම් නැති වෙලා කොන්ක්‍රීට් කොට ගමට ආවා වගේ..

දන්න දා ඉදලා හිතත් එක්ක දොඩමලු වුනු ගහකොළ, මාළු පැටව්, ගුරු පාර, දුවිලි සුවද කාලෙත් එක්ක ටිකෙන් ටික නොකියාම හැංගිලා ගියා වගේ..

 ඒ කාලේ නොසෑහෙන්න මම ආදරේ කරපු මට ආදරේ කරපු ඒ ගුරු පාර අද අවුරුදු දහ නවයක් කෙල්ලක් වෙලා මම එද්දී අද මට හුමිටි තියන්නේ නැති තරමට නිහඩ වෙලා..

ටිකෙන් ටික ලොකු මහත් වෙද්දී පන්ති , පාසැල් වැඩ ඒ හැම දෙයක් අස්සේ ඔරලෝසුවටත් වඩා ඉක්මනට කඩිමුඩියේ දුවපු කාලේ ගුරු පාර ගැන මගේ අවදානේ ගිලිහුණු කාලේ ගුරු පාරත් ටිකෙන් ටික සමුඅරගෙන..

සිමා මායිම් නැතිව හිත් පුරාවටම ආදරේ කරපු ගුරු පාර, මාළු පැටව්, දුවිලි සුවද ආයෙත් පෙරලා , සිමා මායිම්, බන්දන නැතිව මට ආදරේ කරපු හැටි..  ඒ ආදරෙන් එක මොහොතක් හරි අසරණ වෙන්න නොදී පුංචි හුලගකින්, වැහි බිංදුවකින් මගේ ලපටි හිත සනසපු හැටි..

ඒ හැම දෙයක්ම කාලය හොරා ගෙන ගිහින්.. හදවත අස්සෙයි කොලයක් අස්සෙයි ලියා ගෙන හිර කර ගත්තු සිමා මායිමක කදුළු ගල් වුනු ලෝකේක මැරී මැරී උපදිනවාට වඩා කවදාවත්ම ලොකු වෙන්නේ නැතිව හුලං කුරුල්ලෝ එක්කම ඉන්න තිබුණා නම්....


24 comments:

  1. තව ටික කාලයක් ගියාම ඔය දුක වැඩියෙන් දැනෙනවා. මේ ලඟදි ඉස්කෝලෙට ගියාම දැනුන හැගීම කියාගන්න බැරි තරම්.

    ReplyDelete
    Replies
    1. මන් නම් තමා ගිය අගෝස්තුවේ විභාගේ කරයින් පස්සේ තාම ස්කොලේ ගියේම නෑ.. ගිහින් දුක අලුත් කර ගන්න බැරි නිසා//

      Delete
  2. තවම මට හිතෙන්නේ මං ඉස්කෝලෙන් අයින් උනේ ඊයේ පෙරේදා කියලා. ඒත් ඉස්කෝලෙට ගිහාම ඒ අය අපිව දන්නෙත් නෑ. අපි ඒ අයව දන්නෙත් නෑ. කාලය මවපු වෙනස....

    ReplyDelete
    Replies
    1. මං හිතුවේ උඹ තාම මොන්ටිසෝරි යනවා කියලා ..පොඩි හුරතල් පෙනුමක්නේ බන් උඹට තියෙන්නේ ...:D

      Delete
    2. ඔව් ඉතිං අපි කවදත් වයසට යන්නේ නම් නෑ තමා.. ;)

      Delete
    3. @නාඩියා : ඉස්සර ගෙදරටත් වඩා අපිව දැනන් උන්නු තැන දැන් ඉන්න අය අපිව දන්නේ තියා දැකලාවත් නැති එක තමා සේරටම වඩා දුක.. හුරුපුරුදු බව මැකිලා නිසා.. :(

      Delete
  3. ගොඩක්ම සමීපයි වගේ දැනුණා..

    ReplyDelete
  4. මොකක්ද අනේ ඉස්සර ඉස්සර කියන්නේ. දැනුත් එහෙමයි අපිට නොදැනුනාට..

    ReplyDelete
    Replies
    1. ඉස්සර තමා.. දැන් ඉස්සර තිබුණු ගහ කොළ මොකුත්ම නැනේ.. දැන් ගමක් කියන එකක් හොයන්නත් නෑ හරි හමන්.. සේරම කෘතීම ගම් තමා තියෙන්නේ

      Delete
  5. සුලඟේ ළෙලෙනා මල සේ දඟපා
    අප පාසල් ගිය කාලයේ
    යාළුවෙ අද නැත වෙන අය එහි ඇත
    කාලය මැව් වෙනසක අරුමේ

    ReplyDelete
    Replies
    1. මොකද දෙයියනේ හැමෝම මේ ස්කොලේ කාලේ ගැන කියන්නේ.. මන් මෙතන ලියලා තියෙන්නේ අපිත් එක්ක පරිසරයයි ගමයි වෙනස් වුන හැටි නේ.. :o

      Delete
    2. ඒත් එක්කම ඉස්කෝලෙත් වෙනස්වෙලා

      Delete
  6. ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා..

    ReplyDelete
  7. පාසල් ජීවිතය තරම් හැමෝම ආදරය කරන තවත් කාලයක් නැහැ..

    ReplyDelete
  8. ඔන්න ආවා බෙල්ල දාලා යන්න මේ පැත්තට.බය වෙන්න එපෝ අපි තවමත් ඔයාගේ බ්ලොග් 1 කියවනෝ :)

    ReplyDelete
  9. දූවිලි පොලොවට වතුර වැටෙනකොට එන නැවුම් සුවඳට මම කවදත් ආසයි !

    ReplyDelete
  10. ඉස්කෝලේ ගිය කාලේ කෝම නම් අමතක කරන්නද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ජිවිතේ සොදුරුම කාලේ නේ ඒක.. :)

      Delete