Tuesday, March 4, 2014

Needy Readers අපි මන්නාරම් අහස යට...


“ 
පල්ලියේ අර්ධ කවාකාර දොරටු අතරින් දිස්වන මන්නාරම් කොටු පවුර තවමත් හිරු එළියෙන් නෑවෙයි. ඉර බැස යාමට ආසන්න වී තිබුනත් ගිනියම් පැහැයෙන් දිලෙන සුර්යාලෝකය තවමත් මන්නාරම් කොටු පවුර හැර ගොස් නැත. හිරු රැස් උරා ගත් සාගර ජලයේ දිය රැලි රන්වන් පැහැයෙන් දිලෙයි. ඈතට ඈත ට විහිදෙමින් සුර්යාලෝකයේ ගිනියම් පැහැය තුල නො පෙනී යන ක්ෂිතිජ රේඛාව මෙන් ම මගේ ජීවිතය ද ඉවක් බවක් නැතිවසීමාවක්ඉමක් දැකිය නො හැකි ව ඇදී ඇති අපැහැදිලි රේඛාවක් වැනි ය. උස්ව නැගී බිදී යන මුහුදු රැලි මෙන් ම මගේ දිවිය ද අවිනිශ්චිත නොවේ ද ? “

                                   -  කුසුමාසන දේවිය හෙවත් දෝන කතරිනා (පෘතුගීසි සමය) - 


        ගෙවෙන නවම් මහේ පසුගිය
 22 වෙනි සෙනසුරාදා හැන්දෑ යාමය මන්නාරම් තානායමේ ම ගත කරන්නට හිතානපෙර දවසේ කොළඹෙන් මන්නාරම් බලා එන්නට මොහොතකට පෙර සරසවියෙන් ගත්තු සෙංකඩගල මහා බිසෝ පොතේ පිටු පෙරළුව ද හිත මොහොතකට වත් එක්තැන් කර ගන්නට නො දෙන තරම් ම ගිනි කාෂ්ටකේ දෑසට පීඩා ගෙන  දෙන්නට විය.
        අතට ගත්තු පොත එහෙමම අතේ දරා ගෙන තානායම් දොරටුවෙන් එලියට ගැටුවේ අයාලේ යන හිතට ඉඩ දී මිට පෙර පහස නො ලැබූ මන්නාරම් ඉසව්වේ ඔහේ ඇවිද යන්නට ය. ඉතින් අහුවෙන පාරවල් දිගේ ගොස් අතර මග දී හමුවෙන මන්නාරම් යුවතියන්ගෙන් පාර  අසාගෙන මන්නාරම් නගරයට යන මග හොයා ගතිමි. සල්වාර් ඇදුමෙන් හිස ගත වැසුණ ද කුංකුම තිලකේ නළලත් හැඩ කල  ද එක පාටක් මනුස්ස කමේ ලෙයක් සිරුර පුරා කිරුල දැරූ නිසා දෝ නොහදුනන නගරයක අතරමන් නොවී හරි හැටි සිමා මායිම් වත ගොත විස්තර දැන ගැනීමට හැකි වූ බවද නොකියා බැරිය. 

     මන්නාරම් නගරයේ පසකින් අහස උසට වියන් බැද ඇත්තේ මන්නාරම් කොටු පවුර යි. සිය වස් දහස් ගණනකට මෙපිටින් දහ නම වියැති මා ද පෘතුග්‍රීසි යුගයේ දහ නම වියැති දෝන කතරිනා කුමරියත්
  කොටු පවුරේ සක්මනේ යෙදුණු මොහොතෙහි නම් වෙනසක් නොවූ බව සොබා දහම නම් අපූරුවට කියා පෑවේ ය.
     උස්ව නැගී බිදී යන මුහුදු රැලි සේම අවිනිශ්චිත යයි හැඟෙනගිනි අළු යටින් හෙමිහිට සිය රශ්මිය විහිදුව න  මන්නාරම් අහස යට තවමත් හෙමිහිට මෝදු වෙන තරු කට ගොන්නකට දැනුම් සයුර කරා යන ගමනක පෙර ගමන් කරුවෝ වෙන්නට මිට ටික කලකට පෙර දැනිනු හැඟීම යථාර්ථයක් කරමින් මේ මන්නාරම් මහා පොලවට අපි සපැමිණි බැව් මන්නාරම් සුළගත් මමත් විතරක් දන්නා රහසක් නොවිණි.
    ඉතින් මෙහි මේ කොටු පවුරේ හුස්ම සුළඟට මුහු වෙන මායිමේ ඉන්නේ මම පමණක් ම නොවේ. මගේ සගයනුත් මා සමගිනි. 

      සමාජ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික සහයෝගිතාව (
International Movement for Community Development) හෙවත් IMCD ආයතනයේ  අපි මේ මන්නාරම් අහස යටට පැමිණියේ තවත් එක් අපේ ව්‍යාපෘතියක් සඳහායි.

     එනම් පොතක් දී අනාගතයක් එලිය කරමු( DONATE A BOOK, LIGHT A FUTURE )  යන තේමාව අනුව යමින් පොත් අවැසි අහිංසක දරුවන් උදෙසා ක්‍රියාත්මක වන Needy Readers ව්‍යාපෘතිය අපේ මවුබිමේ මෙන් ම දසත මුළු මහත් ලෝකයේ විසිරී සිටින දානපතියන්ගෙන් ආධාර ලෙස ලැබෙන නව සහ පාවිච්චි කරන ලද  පොත් පත් එක් රැස් කර ගෙන කියවීමට කැමති දැයේ  අහිංසක දුවා දරුවන් වෙත ලබා දීමේ මහඟු කර්තව්‍යයේ තවත් එක් පියවරක් තැබීමට ඉතින් අප පසුගිය පෙබරවාරි 22 වෙනිදා මන්නරම අඩම්පන් පාසලේ දී සුදානම් වීමු.

    Needy Readers ව්‍යාපෘතිය යටතේ 2012 වර්ෂයේ සිට දිවයිනේ පාසල් විශාල ප්‍රමාණයකට පුස්තකාල පොත් බෙදා දී ඇතත් මෙහි දී සිදු කරනු ලැබූ කර්තව්‍යයේ විශේෂත්වය වන්නේ උතුරු පළාතේ සිදු කල පළමු සමාජ සත්කාරක සේවය මෙය වන නිසායි.  පොත් 1500කට අධික ප්‍රමාණයක්  තේවන්පීඩි රෝමානු කතෝලික දමිල මිශ්‍ර විද්‍යාලය, තුයා ජෝසෙප් වාස් මහා විද්‍යාලය,  තෙඩ්චානර් මතුතම්න්දු රජයේ දමිල මිශ්‍ර විදුහල හා අඩම්පන් මධ්‍ය මහා විද්‍යාලය යන පාසල්  4කට සහ මන්නාරම් යුද හමුදා කඳවුරට අවැසි පොත්  ඔවුනට ලබා දිම අරමුණු කර ගනිමින් අප එදින අඩම්පන් විදුහල් පරිශ්‍රය කර පිය නැගුවෙමු. 
      මෙය අපට ඉතා ම සුවිශේෂිත ය. මන්ද  උතුරු පළාතේ සිදු කල පළමු සමාජ සත්කාරක සේවය මෙය වන නිසා යි.
   දශක 3කට අධික කාලයක් රුදුරු යුද්ධය නිසා ගතින් සේම සිතින් ද අපමණ දුක් කරදර විදි දරු දැරියන් අබිමුවට ගොස් ඔවුන් හා කෙසේ කතා බහා කරන්නද කියා චකිතයක් හිත පුරා දිව ගියද ඔවුන් දුටු පළමු දසුනින් ම එය පහව ගිය බව නම් කිව යුතුමය. 
     ඔවුන්ගේ ආගමානුකූල ව නළල තට තිලක තබා මල් මාලා පලඳිමින්  අමුත්තන් වූ  මන්නාරම් මඩු අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන් , පාසල් හතරේ විදුහල්පතිවරුන් , ශ්‍රී ලංකා හමුදාවේ 54 වෙනි සේනාංකයේ  නිලධාරින් , පාසල් 4හි සිසුන් සහ IMCD, Needy Readers සාමාජිකයන් පිලි ගනිමින් අඩම්පන් විද්‍යාලයේ සිසුන් ඔවුන් ඔවුන් ගේ හදපත්ලෙන් ම ඔවුන්ගේ ළෙන්ගතුකම විහිදු ආකාරය නම් අපුරු ය. 
   එක් තැනක තිබුණු හරිම අපූර්ව ලෙස කෝලම් රටා මවා ඈඳී කෝලම් සිතුවම කාගෙත් නෙත් සිත් පැහැරගත් බව නම් නිසැකයි. 
    විවිධාකාර සොඳුරු අංගයන්ගෙන්  සැපිරූ උත්සවයක් මධ්‍යයේ පොත් බෙදා දීමෙන් අනතුරුව ඔවුන් සබකෝලයෙන් තොර ව අප හා එක්ව කතා කරමින් සෙල්ලම් කරමින් දවස ගෙවූ ආකාරය ද අපුරු ය. 
තල් අරණක ජීවිතය ගෙවුන ද ඔවුන් මහඟු දස්කම් ඇති දුවා දරුවන් පිරිසක්. හෙට ලෝකය අපෙන් පසු රැක ගන්නට තරම් නායකත්වයෙන් හෙබි පිරිසක්. අපිට වුවමනාද එයයි. 
     ඉතින්,  හැම දෙයක් ම ඉතාමත් සාර්ථක ලෙසින් නිම කරමින් ආපහු කොළඹ බලා එන්න පිටත් වීමු. ඒ ද තවත් එක කාර්යයක් අවසන් යයි කියා සිතා නොවේ ජීවිතයට  ලැබුණු අපුරුතම අත්දැකීම ගැන ආඩම්බර වෙමිනි.
     ජීවිතය ඇත්තේ ආගම් බේද ජාති වාද ඇතුළත නොවේ එයින් ඔබ්බට ගිය මනුස්ස කම තුලය. හිත මිතුරු කම ගොඩනැගෙන්නේ එක සිනා රැල්ලෙන් මිස උප්පැන්නයෙ එක තීරුවකින් නොවේ.  ජීවිතය ඇහිඳිය යුත්තේ එක පොළොවක් මත හිඳ මිස තනි වුනු එක පොලෝ කුහරයක තුල  හිඳ නොවේ. 
  වරුවක එකමුතුවකින් වුව ද මන්නාරම් තුඩුවේ දරුවන් අපට කියා දුන්නේ එයයි. නිවී දිලිහෙන ආකාසේ ලොකු තරු කණමැදිරි එලි දල්වන පුංචි තරු පොකුරු ව කවදාවත් එලිය මදි කියල අහසින් එළවන්නේ නෑ. එක අහසක් යට ඉද ගෙන සැවොම එකා සේ ලෝකේට සේවය කරනවා. අවිනිශ්චිත ජීවිතයෙන් අතරමන් නො කර පාර කියනවා.
සැවොම එකා වන් ව නැගී හිඳිනවා. ඇති හැකි යයි බේද නැතිව ඒකම පවුලක් ලෙසින් දිවි ගෙවනවා. 
  
   එයයි ජීවිතය.. එයයි ආගම.. එයයි ජාතිය.. එයයි මනුස්ස කම.. 

ජායාරූප :

මන්නාරම් අහස 

IMCD ආයතනය පිළිබද හදුන්වා දෙමින් 

යුද හමුදා 54 වෙනි සේනාකයේ නිලදාරී තුමන්ට සංකේතාත්මකව පොත් ලබා දෙමින් 

පාසල් සදහා පොත් සංකේතාත්මකව ලබා දෙමින් 
කෝලම් රටා 

මන්නාරම් කොටු පවුර


- අරුණි කළුපහන -    




18 comments:

  1. හොද වැඩක්.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකයෝ.. :)

      Delete
  2. ඇති හැකි යයි බේද නැතිව ඒකම පවුලක් ලෙසින් දිවි ගෙවනවා...හැමගේම පැතුම එයයි....

    ReplyDelete
  3. මේක නම් අගේ කල යුතුම වැඩක් !
    ඒක නෙමේ අරුණි,
    අර ඔයා කියවන්න ගත්තු පොතේ කතෘ කවුද ? ප්‍රකාශකයෝ කවුද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධුරංග :)

      පොත : සෙංකඩගල මහා බිසෝ
      කතෘ : රූපා ශ්‍රියානි ඒකනායක..
      ප්‍රකාශකයෝ : සූරිය ප්‍රකාශන ( සූරිය පොතක් )

      Delete
  4. ඇත්තෙන්ම පැසසිය යුතු වැඩක් අරුණි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චතුරංග :)

      Delete
  5. සෙංකඩගල මහා බිසෝ කියවන්න කියල ගත්ත තිත්ත වෙල විසික්ක... නෙද්දකිං ඊට හොදා ළමා කතංදර පොතක් කියවනව...
    ඔයාලගෙ කාර්යය නං අගේ කරන්න ඕන... අඩුම තරමෙ අපි ගැන තියෙන අව ආකල්ප තුනී වෙන්න ඒක උපකාරී වෙයි කියල හිතනව...
    දිගටම මේ වගේ සද් කාර්යයන් කරගෙන යාමට ධෛර්ය ලැබේවා...

    ReplyDelete
    Replies
    1. මට නම් ඒක හරිම ලස්සන පොතක්.. :)

      ස්තුතියි මහේෂ්..

      Delete
  6. ඇත්තෙන්ම හුඟක් අගය කරන්න ඕන දෙයක් මේකනම්..

    ReplyDelete
  7. මේක තමයි සහජීවනය අගයමි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ් :)

      Delete
  8. Replies
    1. ස්තුතියි උමේෂ් :)

      Delete
  9. හුඟක් හොඳ වැඩක් ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුෂානි :)

      Delete