Friday, April 4, 2014

අප්පච්චියි මමයි..


   මට මාස ගානක් වූ කාලයේදී සිදු වූ ඇතැම් සිදුවීම් වුවද මට තාමත් මතකය.. පුංචි දරුවන්ට මතක නැතයි කියන කාල වල බොහෝ දෙ මට මතක තිබීම නිසාවෙන්ම මම වාසනාවන්ත බව මා දනිමි. අප්පච්චිගේ සහෝදරයන්ට ගැහැණු දරුවන් නොමැති නිසාවෙන් අයියාලා දහ දෙනෙකුට පහු ඉපදුනු එකම නංගි වූ නිසාත් මගේ පවුලේ එකම එකම දරුවා මම නිසාත් ළදරු වියේ හිටන්ම දැඩි රැකවල් මධ්‍යයේ ඇති දැඩි වන්නට මට සිදු විණි..

  පුංචිම කාලේ අප්පච්චි මාව කරේ තියාගෙන ලුණු ගෙනියනවත්, අත දරුවෙකු ලෙසින් අප්පච්චිගේ අතින් අල්ලන් මා මුලින්ම නැගිටිනවාත් මට මතකය.. පුංචිම කාලේ පටන් අප්පච්චි හැමදාම හවසට වැඩ ඇරී නිවසට එද්දී බෑගයක් පිරෙන්න එක එක ජාතියේ කඩචෝරි ගෙනත් දෙනවා මට මතකය.. අම්ම කොපමණ එපා කිව්වද බැන්නද අප්පච්චි අදටත් ඒ පුරුද්ද නතර කරන්නේ නැත. ඒ අප්පච්චිගේ ආදරයේ හැටියි..

   අප්පච්චිගේ හුරු අත වමත වූ නිසාවෙන්දෝ දකුණු අතින් අකුරු කියෙව්වද මම ලිව්වේද වමතිනි.. පුංචිම කාලේ අප්පච්චිගේ කාමරයේ තිබුණු පොත් හොරෙන් උස්සා මා කියවන බැව් දැනගත් හේ මට අකුරු කියවන්නටත් පෙර ඉදන්ම මට කියවන්නට හුරු කලේය.. මගේ වයසට ගැලපෙන්නට කතන්දර පොත් මිටි ගණන් ගෙනත් දුන්නේය.. එවකට මා හතර හැවිරිදිය.. අප්පච්චිගේ කාමරයෙන් කියවන්නට ඉස්සු පොත් මහා රැජිනගේ ආණ්ඩුවයි.. :D ඒ දැක අප්පච්චි මට කියවන්නට ගෙනත් දුන් මගේ පලවෙනි කතන්දර පලවෙනි පොත පුන්චාගේ කිරි කෝප්පය යයි..

     මතක ඇති කාලයේ පටන් අප්පච්චි මට දඩුවම් කර ඇත්තේ දෙපාරකි..

    පළමු පාර නම් එක වසරේදීය.. එකල පාසලේ යම් වැඩසටහනක් තිබීම නිසා එක වසර ළමුන්ට පාසල් නිවාඩු දී තිබිණි..  කලින් දා එය දැන ගන්නට මා ස්කොලේ හිටියට එය මට දැනගන්නට ලැබුනේ ද නැත.. ඉතින් එදින මා මෙන් පණිවිඩය දැනගන්නට ලැබුනේ නැති ළමුන් පස් හය දෙනෙක් ස්කොලේ ඇවිත් වුන්නා මතකය. ඉතින් ඔවුන් අතරින් ලග ගෙවල් වල වුන් ළමුන් පිටව ගිය පසු ඉතිරි වුනේ මාත් තවත් මගේ අපේ පන්තියේම මිතුරියකුත් ය. ඇයද මේ ලග ගෙවල් තිබෙන බව විදුහල්පතිතුමාට පවසා නික්මෙන්නට සැරසිණි.. එවිට ඉතිරි වන්නේද මා පමණි.. එහෙත් විදුහල්පති තුමා අප්පච්චිගේ කුඩා කල මිතුරා නිසා ඔහු මා ගැනත් අපේ නිවාස තියෙන්නේ ගම් දෙකකට එහායින් බව දන්නා නිසාත් මට යන්නට දෙන්නේ නැති බව මම දැන සිටියෙමි.. එහෙත් පාසලේ 1 වසරේ හැමෝටම නිවාඩු නිසා මට මට විතරක් නිවාඩු නොගෙන ඉන්නට බැරි බවට මුරණ්ඩු සිතුවිල්ලක් හිතට නැගුණි.. අනික පාසල් එකල මා පාසල් ගියේ පාසල් වෑන් රථයේ ය.. එය එන්නේ ආයේ පාසල් ඇරුණු පසුය.. ඒ වෙනකම් කාලේ කන්නට ද බැරි ය.. ඉතින් ඒ නිසා ජිවිතේ පලවෙනි වරට බොරුවක් කිව්වේ එදාය.. ඒ සම්පුර්ණ බොරුවක් නොවුවද විදුහල්පති තුමා රවටා ස්කොලෙන් පනින්නට කියූ බොරුවකි..

  අප්පච්චිගේ අයියාගේ එනම් මගේ මහප්පාගේ ගෙවල් තිබුනේ ස්කෝලෙට ලගය.. විදුහල්පතිතුමාද එය දැන උන්නේය.. එවකට මහම්මා ද මගේ පාසලේ ගුරුවරියකි. ඒ නිසාම විදුහ්ල්පතිතුමාට මහම්ම්ලගේ ගෙදර යන බව කියා ස්කොලෙන් පැන ගත්තේය.. අප්පච්චි සේම මා ද බොරු නොකියන දැරිවියක බැව් සිතු විදුහල්පති තුමා රැවටු එක ගැන නම් දැන් දැනෙන්නේ දුකකි. එහෙත් කියපු බොරුව එතුමා ට අහු නොවූ නිසා අවුලක් ද නැත..

  කොහොමින් කොහම හරි එදා අර කිවූ මිතුරියත් සමග මම ගෙදර එන්නට පිටත් වීමි.. ගම් දෙකක් පයින් තරණය කිරීම පහසු වැඩක් නොවේය.. මුලින්ම බස් යන පාර දිගේ ගියාය.. ඊට පහු වෙල් කුඹුරු දිගේ ගොස් කන්දේ දේවාලේ ලගින් කෑලෑ පාරට විත් එය දිගේ තවත් දුර ඇවිත් මිතුරු දැරිවිය ඈගේ නිවසට ඇරලවා ඉතුරු දුර ද තනියම දෙපැත්තම කෑලේ වැවී තිබුණු පාරක් දිගේ පැය බාගෙක පමණ කාලයක් ගෙවා ගෙදර ට ආවෙමි.. ස්කොලෙන් පිට වුනේ 8.30ට පමණය. ගෙදර එද්දී 11ය..

 මා ගෙදර ඉද්දි එදා අප්පච්චි අපේ නිවාස අලුත්වැඩියා කරන නිසාවෙන් දෝ ගෙදර ය..

" මොකේද ආවේ ?? ස්කොලේ වෑන් එක ආවාද ?? "

" නැහැ.. තනියම ආවේ.. අද නිවාඩු කිව්වා.. වෑන් එක එන්නේ 11,30 නිසා මං පයින් ගෙදර ආවා.. " මහා වීර කමක් කරා සේ මම කියවාගෙන ගියෙමි..

   එකවර ඉදිරියට පැන්න අප්පච්චි ඔහුගේ වමතින් මා පිටට රත් වන්නට පාරක් ගැසුවේය.. ඒ මා කෑ පළමු ගුටියයි.. ඒ ද නිවස හදමින් වූ බාස් අංකල්ලා ද ඉදිරි පිට ය. ඔහුගේ පාරට ඔහු වම අතේ හැඩරුව එහෙම පිටින්ම මගේ පිට මත සලකුණක් ලෙසින් ඉදිමි ඇවිත් තිබුණා මට මතකය.. ගුටි කා හඩන විට මොහොතකින් ඉදිමුම බහින්නට ගාන්න තෙල් බෝතලයක් ගෙනවිත් අම්මට දුන්නේ ද අප්පච්චි ය,.

  දෙවෙනි වරට දඩුවම් ලැබුවේ නම් අවුරුදු 18 දිය. ඒ ප්‍රේම සම්බන්දය අප්පච්චිට අහු වුනු දා ය. එසේම ඔහු ඔහුගේ ජිවිතයේ මා දැකපු තදින්ම කෝප වූ දිනයයි.. එවකට මා ප්‍රේම සම්බන්දයට වසරක් විතරය.. එය දැනගෙන ඇසු ප්‍රශ්න වලට මා පිළිතුරු දුන්නේ කෑම මේසයේ ඉදගෙනම ය. එහෙම එකක් තියෙනවාද ඇසු විට ඔව් කීවෙමි.. එය නැවැත්විය යුතුයි කි විට මම විරුද්ද වුයෙමි.. ඉතින් ජිවිතේ දෙවෙනි වරටත් දඩුවම් ලැබුවෙමි.. එයින් රිදුනේ ගතට නොව හිතට ය.. කෑම මේසයේ හිදගෙනම කමින් වුන් අප්පච්චිගේ බත් එක ඔසවා එයින් මා හට දමා ගැසුවේ කේන්තියේ තරම නිසාවෙන් බැව් මා දනිමි..

   එතනින් එහාට ගහන්නට නැගිටගෙන එන විට අම්මා මැද්දට පැන්න නිසා වෙන් මා බේරුනි.. ජිවිතේ කෙදිනකවත් අවුරුදු 10ක් ආදරය කර විවාහ වූ අම්මට අතක් ඔසවන්නේ නැති අප්පච්චිගෙන් දෙපාරක් මා ගුටි කෑවේ ඔහොමය..

   ඒ ඔහුගෙන් මා ලැබූ දරුණුතම සහ අවසාන දඩුවමයි.. ප්‍රේමයට අප්පච්චිගෙන් ලැබුණු පළමු ප්‍රතිචාරය නිසාවෙන් මාළු කුරී කරපිංචා කොළ බත් ඇට හිසේ ඉදන් නාගෙන ඉන්නට සිදු වීම ද එක අතකින් අපුරු සිදු වීමකි.. ඉතින් ඔහු මා හා සතියක් කතා නොකළේය.. එතෙක් අප්පච්චි පඩි ගත් දාට දුන් රුපියල් දෙදහාද කපා හැරිණි..

    අප්පච්චි තද බෞද්ධය.. ඉතින් කුල මල ගෝත්‍ර හොයන එක හැටිය.. සතියකට පසු කතා කරමින් අප්පච්චි ඇසුවේ ද පුතේ ඔයාට ඕක ඕනා ම ද??  කියාය. අම්මා කියන්නේ ඇත්ත.. මා අප්පච්චිගේම දුව ය. මුරණ්ඩුකම, හිතුවක්කාරකම සේම දෙයක් කව්රු කිව්වත් අත හරින්නේ නැති කම ඔහුගෙන් මා ලද දායාද ය.

  එදා අප්පච්චි මට කෙලින් කැමැත්තක් දුන්නේ නැත.. නමුත් ඔහු මට ඔහුගේ ජිවිතයෙන් පාඩම් කියා දුන්නේය..

   " පුතේ මම මගේ ගමෙන් D 4 ක් අරගෙන උසස් පෙළ සමත් වෙච්ච පලවෙනිය.. සීයාගේ සිල්ලර කඩ ටිකත් බලා ගන්න උදව් දීගෙන එදා උග්න්නපුවා එදා හරියට මහන්සි වෙලා ඉගන ගත්තු නිසා තමා මං අද මෙහෙම ඉන්නේ.. අනිත් එවුන් වගේ ආදරෙයි විබගෙයි පටල ගත්තා නම් අන්තිමට දෙකම නැති වෙනවා.. විබාගේ ෆේල් වෙලා ආදරේ ඉල්ලන්න ගියාම කියයි.. විබාගේ ෆේල් නිසා කෝ අනාගතයක් කියලා.. විබාගේ පාස් වෙලා තැනකට ආවොත් එදාට නැති නෑයෝත් හොයා ගෙන ඒවි.. මන් අද අහවල් දෙපාර්තමේන්තුවේ අහවල් තැන ඉන්න නිසා තමා පුතේ ඔයාට උනත් ඔලුව කෙලින් තියන් මෙහෙම ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ.. එහෙම නොවුනා නම් ඔයාගේ ඔලුවට අත හෝදන්න ඕනා තරම් මිනිස්සු ඒවි.. "

  ඒ අප්පච්චි ජිවිතේ හැටි ගැන කියා දුන් පණිවිඩයයි.. එය මගේ හිතේ මා මැරෙනකම් වුව ද නොසැලී පවතිනු ඇත..

    අප්පච්චි කවදාවත් මං පුතේ ඔයාට මෙච්චරක් ආදරෙයි කියා කෙලින් කිව්වේ නැත.. අප්පච්චි ඔහුගේ ආදරේ පෙන්නුවේ වචනයෙන් නොව ක්‍රියාවෙනි..

    අදද අම්මට වඩා අප්පච්චි මට සමීපය.. අම්මා රැකියාවට යන හෙයින් දහවල් කාලේ නිවසේ නැති නිසා බොහෝ වෙලාවට නිවාඩු ඇති හැටියට අප්පච්චි නිවසේ මා හා රැදෙයි.. පුංචි කාලේ ඉදන් අම්ම තාම පොඩි එකානේ කියා උයන්නට ඉගැන්නුයේ නැති නිසා අදද එහි ප්‍රති විපාක බොහෝයි.. :D තේ හදන්නට දන්නේ නැති නිසා බොහෝ වෙලාවට මගේ පුරුද්ද ගෙදර ප්‍රිජ් එකේ තියෙන සංකුඉක් බිම බෝතල් හිස් කරන එකය..  බැරිම වුනොත් ධාරාට හෝ සමි අයියට cal එකක් දී අසා ගන්නට සිදුවේ.. එවිට වුන් දෙන්නගෙන් කන් පැලෙන්නට අහා ගන්නේ මේස හැන්දයි තේ හැන්ද  වෙන් කර ගන්නට දැන් නැති නිසා වෙනි..  ඉතින් අප්පච්චි ඉන්නා දවසට මට එසේ දුක් විදින්නට සිදු නොවේ.. අප්පච්චිට කියන්නටත් කලින් අප්පච්චි මට බඩගිනි වෙන වෙලාවල් දන්නා නිසා ය..

  මා හිතනා දෙ අප්පච්චිට දැනෙන්නට තරම් ඉවක් අප්පච්චි සතුය.. දහවල් මොනා යම් දෙයක් ඕනා යයි සිතුනොත් එය මා කාටත් නොකියා වුන්නත් හවසට ගෙදර එන අප්පච්චි ගේ බෑගයේ එය තිබීම එකල ඉදන්ම සුපුරුදු දෙයකි..  ඒත් අප්පච්චිගේ අරුම පුදුම ඉව අපි කාටත් තවමත් තේරුම් ගන්නට බැරිය..

   අප්පච්චිගේ ජාන වලින් මට ලැබුණු දෙ බොහොමයි.. එනම් මගේ ජිවිතේ මට අනන්‍යතාවයක් දුන් ලිවීමේ හැකියාව.. අප්පච්චිගේම සමහර ගති ගුණ..  අප්පච්චිගේ දැනුම සේම තව බෝ දෑ තාත්තාගෙන් ලැබුණු ලේ නිසාවෙන් මට උරුම වුනි..  ඒ නිසාවෙන්ම දෝ ගැහැණු දරුවෙකු වුවද මා අප්පච්චිගේම කපපු පලුව ලෙසින් හැදින්වන්නේ සමහරුය.. නමුත් ඔවුන් දන්නේ නැති එක දෙයකි.. ඒ අප්පච්චි සතු කාරුණික ස්වභාවය නම් ම තුල නැති නිසාවෙනි.. කියන්නට තියෙන දෙ කෙලින් කියා බනින්නට හිතුනොත් නෑකම් නැති වෙන්නට හරි බැනීම මගේ පුරුද්දය.. :D ඒ අතින් නම් මා අප්පච්චි ගේ අහලකින්වත් තැබිය නොහැකි බැව් ද කිව යුතුමය..

 වෙනදාටත් වඩා කවදාවත් අප්පච්චි ගැන බ්ලෝග් පොස්ට් ලියන්නේ නැති මට අප්පච්චි ගැන බ්ලෝග් පොස්ට් එකක් ලියන්නට සිතුනි..

   මගේ දවස සාමානයෙන් කොහොමත් ඇරඹෙන්නේ කොහොමත් 11ට 12ටය.. රෑ එලි වෙනකම් අතට අහු වෙන කොළ කෑලි වල එක එක ඒවා ලිය ලියා ගිටාර් එකට අලුත් ම්යුසික් හොයා හොයා නිශාචර ජිවිතයක් ගෙවා එලි වෙන ජාමෙට නිදා ගන්නා මට උදේ හයට හතට නැගිටීම නම් හීනයකි.. ( නුදුරේම එම ජීවන රටාව වෙනස් කරන්නට වෙන බැව් වෙනම කතාවකි.. පහුගිය දිනක පැය එක හාමාරක් දුරකතනයෙන් මගේ දහවල් ගිනි මද්දහනේ නිදා ගැනීම ගැන බැන වැදුණු මගේ මාර්ගොපදේශිකා තනතුර දරන ධාරගේ බලවත් කෑ ගැසීම නිසා එම නිදා ගැනීම පැය කිහිපයකින් අඩු කරන්නට හිතා සිටිමි.. එය වෙනම කතාවක් නිසා මෙයට අදාල නැත )

  වෙනදා සේම අද ද දහවල් 12ට විතර නැගිට පුස්තකාලෙන් ගෙනාව ඉමාම්ගේ දියණිය පොත කියවද්දී අප්පච්චි කතා කලේය..

 " පුතා අද උයන්න වෙන්නේ අපි දෙන්නට.. කඩෙන් කන්න ඕනේ නෑ වෙනදා වගේ.. ඔයත් දැන් පොඩි ලමේක් නෙවේ නේ.. එන්න අද ඉදන්වත් ඉගෙන ට්‍රයි එකක් හරි දෙන හොදයි.. ඕවා කරන්න දැන ගන්න එපැයි.. "

    අප්පච්චි කිව්වා කතාවෙන් මට දවල් තරු විසි විණි.. මින් පෙර උයන්නට තියා උයන්නට සිතාවත් නැත.. මට පුළුවන් ඒකම දෙ චොකලට් cake හදන්නට පමණි.. අපරාදේ කියන්න බෑ ආච්චි අම්මා එක නම් යන්තම් රහට හදන්න ඉගැන්වූ නිසා හොදය.. සන්කුයික් බිම බෝතලයක් ද එහෙන් මෙහෙන් අටවා ගන්න පුළුවනි.. එත් බත් උයන්න.. අවුරුදු 19ක ජිවිත කාලෙටම කරන්නට උත්සාහවත් කොරපු දෙයක් නොවේය..

  හැම ජාතියේම පොත් තියෙන මගේ පුංචි පුස්තකාලේ කෑම වට්ටෝරු පොත් දෙක තුනක් තිබුන මතකය. ඔයින් එකක බත් උයන හැටි ද තිබුණා මතක නිසා ඉක්මනට එක අරන් කියවගෙන එකත් උස්සන් මුළුතැන්ගෙට ගියෙමි.. ඉතින් අප්පච්චිගේ අධික්ෂණය යටතේ හා හා පුරා බත් උයන්නට ඉගෙන ගත්තෙමි..
ඉතින් මදි පාඩුවට කෑම පොත බලන් පරිප්පු ව්‍යංජනය ද හැදුවෙමි.. මෙතෙක් කල් සිතා උන්නේ අබ ගම්මිරිස් කියන්නේ එක ජාතියක් කියාය.. එතින් ඒකට අන්තිමට අබ වෙනුවට ගම්මිර්ස් දමා තිබුනෙමි.. එත් ඒ හැටි අවුලක් නැති නිසා පරිප්පු එකේ රහ හොදය.. :D අම්ම හදන සලාද මතක් වී කැරට් තක්කාලි අරව මෙව්වා දාලා එහෙම එකකුත් හැදුවෙමි.. මස් එක හදන්නට නම් අප්පච්චි දුන්නේ නැති නිසා හොදය.. ඉතින් කොහොමින් කොහම හරි අද 19ක් තිස්සේ නොකරපු ඉවිල්ල අද පළමු වතාවට කෙළෙමි..  ඒ අප්පච්චි නිසා ය..

  උයා ඉවර වුනු ගමන් මගේ අතිජාත මිත්‍රයෝ දෙන්නට මැසේජ් එකක් දුන්නෙමි.. සමි අයියා ගත් කටටම ඇහුවේ " කවුද දෙයියනේ කෑවෙ :o .. " කියයි.. ධාරා නම් ඇහුවේ " මොනවද ඉව්වේ.. :O "  කියාය.. මොනා වුනත් මන් උයන්නට දැන ගත්තු එකෙන් උන් දෙන්නට හොදට අද ඉදන් නින්ද යනු ඇත.. අපේ වෙන්න මනුස්සයා හවස් වෙලා කතා කරපු වෙලේ අද මන් මෙහෙම ඉව්ව කිව්වා වෙලේ ඒ මනුස්සයා කිව්වේ ඊට හපන් කතාවකි.. " ඇති යන්තම්.. දැන් නම් දෙයියනේ කියල බයක් නැතිව කසාද බැන්දෑ කි.. මන් බයේ උන්නේ හැමදාම කඩෙන් කන්න වෙයි කියලා.. " :D 
 අම්මා ගෙදර ආපු වෙලේ මං ඉව්ව කිව්වම අම්මට හිනාව නවත්ත ගන්න බැරි තරම් විහිළුවක් විය එක නම් :D
අබ ගම්මිරිස් විස්තරේ හොයා ගත්තේ ද අම්ම ය.. වැඩි කමක් කිව්වේ නම් නැත.. කෑම එක නම් රස බවට සම්මනයක් ලැබිණි.. එහෙත් අවසානයේ හොදම කතාව කිව්වේ අම්මාය.. " උයනවා කියලා අන්තිමට ගේ නම් ගිනි තියන්න එපා.. " 
   කොහොම වුනත් අප්පච්චි නම් මොකුත්ම කිව්වේ නැත.. ඒ අතින් අප්පච්චි නම් අපරදේ කියන්න බැරිය..

 :D කොහොම නමුත් අප්පච්චි නිසා උයන්න ඉගන ගත් නිසා වෙන් කවද හරි මට මගේ ජාමේ බේරාගෙන ජිවත් වෙන්නට පුළුවන් වීම නම් සතුටකි.. ඉතින් අප්පච්චියි මම යි ගැන බ්ලෝග් පොස්ට් එකක් දාන්න සිතුනි.. ඉතින් මම එය මා ලිව්වෙමි.. කියවීම නොකියවීම ඉතින් ඔබ සතු ය.. දිග වැඩි නම් එයට කොරන්න දෙයකුත් නැත..  :D :D

36 comments:

  1. කතාවේ රිදම් එක අන්තිමට එද්දී වෙනස් වෙලා ...හැබැයි ඒ ගැලපීම අමුතු රහක් එකතු කරලා, කඩෙන් කන්න බයවුනේ මොකද ඔයාගේ එවෙන්ද මහත්තයා ,එයාට තුන් වේලටම චොකලට් කේක් කන්න පුළුවන් නේ :P

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා එයාට තුන් වේලටම චොකලට් දුන්නොත් එපා නොකියා කයි.. මට එයාට චොකලට් cake හදලම එපා වෙලා ඉන්නේ දැනටමත්.. :D

      ඉවාන් අයියා කියනවා වගේ වෙන වෙලාවක නම් ඒ කොලුවාගේ කටේ තියෙන්නේ බත් නැත්තම් cake කමු තමා :p

      Delete
  2. මා දනිමි නොවෙයි දරුව මම දනිමි. අප්පච්චි ලිව්වේ නැහැ නේද මා දනිමි කියලා. දහ දෙනෙකුට පසුව ඉපදුන එකා එකම දරුවා නොවෙයි දරුව එකම ගැහැණු දරුවා. වේගයෙන් ලියා ඇත. රසවත්ව ලියා ඇත. මගදී එය වෙනස්වී ඇත.

    ReplyDelete
    Replies
    1. ලියන බාෂාව අනිකාට තේරෙන්නේ නම් එයින් හානියක් නැහැ නේ.. මම උනත් මා වුනත් කියන්නේ මේ මං ගැනනේ ඇනෝ..

      ඇනෝට වැරදිලා ඇනෝ.. // අප්පච්චිගේ සහෝදරයන්ට ගැහැණු දරුවන් නොමැති නිසාවෙන් අයියාලා දහ දෙනෙකුට පහු ඉපදුනු එකම නංගි වූ නිසාත් මගේ පවුලේ එකම එකම දරුවා මම නිසාත් // මෙතනින් මං කියන්නේ ඒ අයියාලා මගේ අප්පච්චිගේ සහෝදරයන්ගේ දරුවෝ බව ඇනොට තේරුනේ නැද්ද ??

      ස්තුතියි..

      Delete
  3. පිය සෙනෙහසට කව් ගී ලිය වුනා මදී...

    ReplyDelete
  4. අද නේ ආවෙ ,එල එල තාත්තලා ගැන කියන්න දේ බොහොයි

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා.. මොනරු බ්ලෝග් අඩවියට :)

      එහෙනම් සහෝදර.. ඒ ටිකත් ලියමු බ්ලෝග් එකකට.. :)

      Delete
  5. මට නං හිච්චි එකා සංදියෙ කරපු කිසි දෙයක් මතක නෑනෙ අපේ අම්ම නං කියනව කරපු තරමක් කලේම මහ නොසංඩාල වැඩලු....
    ඔබේ සටහන කියවලා මට හිතුනෙ ආයි අපට මේව අමතක කියල

    ReplyDelete
    Replies
    1. මේවා අපි මතක් නොකර අත හැරලා දාපු නිසයි අමතක... ඉස්සර ඉදන්ම ඒවා මතක් කර කර උන්නා නම් දිගටම මතක තියේවි...

      Delete
  6. තාත්තලාගෙ නිහඬ ගැඹුරු ආදරය හරිම සුවඳයි. අතීත මතකනම් කොච්චරක්ද. සංවත්සරේට පස්සෙ පළමු පෝස්ට්ටුව නේද. සුබපැතුම්...!!

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. හ්ම් සංවස්තරේ පස්සේ දාපු පළමු පොස්ට් එක තමා මේ...

      ස්තුතියි :)

      Delete
  7. පියෙකුගේ ආදරය විටෙක ගුප්තයි නිහඩයි ප්‍රහර්ෂයෙන් තොරයි.. ලස්සනට ලියල තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකයෝ.. :)

      Delete
  8. ඔබේ පියා ඔබගේ ප්‍රේම සම්බන්දයට විරුද්ධ වීම අද දින ඔබ දකින්නේ නිවැරදි දෙයක් ලෙසද?.ඔබට ඒ පිළිබඳව අල්ප මාත්‍ර වූ තරමේ වත් කනගාටුවක් දැනෙන්නේ නැතිද?.මගේ මව ජීවත් වන්නේ තනිකඩ මා සමඟය.ඇය අතීතයේදී මගේ ප්‍රේමයට දැඩිලෙස විරෝධය දැක්වූවාය.එයට එකම හේතුව වුවේ මගේ සිතගත් තැනැත්තිය මට වඩා වසර 9 වයසින් අඩු වීමය.මගේ මවට මා කොතරම් ආදරය කලත් මගේ ප්‍රේමයට කල අසාධාරණය වෙනුවෙන් කිසිදිනක සමාව නොදෙන්නෙමි.

    ReplyDelete
    Replies
    1. ඔව් එය අප්පච්චිගේ පැත්තෙන් නිවැරදියි.. අවුරුදු 18ක් දුක් මහන්සි වෙලා ගැහැණු දරුවෙක් හැදුවේ හරිහැටි නොදන්නා පිරිමියෙකුට දෙන්න නෙවේ නේ.. :) අනික ඒ මගේ පෙම්වතා නිසා මං ඔහු ගැන දැන උන්නාට අප්පච්චි ඔහුව දැන ගන්න ලගින් ආශ්‍රය කරලා නැහැනේ... අනිත් එක අප්පච්චිට මං තවම පොඩි දරුවෙක් ගානයි.. ඉතින් ඔහු කැමති වෙන්නේ නැනේ දැන්ම නොදන්නා වෙන පිරිමියෙක්ට දෙන්න හිතන්න..

      අපේ ගෙදරත් තදබල විරෝධයක් තිබුණා.. නමුත් මන් මගේ තීරණය කවුරු කොහොම කිව්වත් වෙනස් කරේ නැහැ.. ඉතින් දෙමවුපියන් පසුකාලීනව තේරුම් ගත්තා මගේ තීරණයේ වැරද්දක් නැහැ කියලා..

      මන් එදා අප්පච්චි කිව්වා නිසා මගේ තීරණය වෙනස් කරා නම් අද මට මගේ පෙම්වතාත් නැහැ.. මගේ අප්පච්චි ගැන ඉතුරු වෙන්නෙත් තරහක් විතරයි..

      Delete
  9. මුළු පෝස්ට් එකම එක හුස්මට කි‍යෙවුවා මොණරි.

    මුළු පෝස්ට් එක පුරාවටම පෙනුනෙ මගෙ පුංචි කෙල්ලව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චතුරංග අයියේ...

      කවදා හරි චතුරංග අයියගේ පුංචි දෝණිත් කවදා හරි අප්පච්චි ගැන බ්ලෝග් පොස්ට් එකක් ලියාවි නෙහ්.. :)

      Delete
  10. නංගිට අප්පච්චි,මට නම් තාත්තා.මගේ තාත්තා ගැන මමත් ලීවා කාලෙකට කලින්.
    අම්මා ගේ අවවාදය ගැන අවධානය යොමු කිරීම වැදගත් වේ...:D

    ReplyDelete
    Replies
    1. එහෙනම් මනෝජ් අයියගේ බ්ලෝග් පොස්ට් එකත් බලන්න ඕනේ.. :)

      අපේ ගේ ගිනි තියනවාට වැඩිය මට වෙන්නේ එක එක ඒවාට පිච්චෙන එක.. ගින්දර වලට කරන්ට් එකට වගේ .. :D:

      Delete
  11. කොහොමහරි තාත්තවත් කැමති කරගත්ත නේද එහෙනම් :D
    පෝස්ටුවෙ හින යන දේවල්ටික නම් මරු :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් එහෙනම්.. :D තාත්තාව කැමති කොර ගත්තු හින්දා නේන්නම් අවුරුදු තුනක් වෙලත් මෙහෙම ඉන්නේ..

      ස්තුතියි ඈ.. :D

      Delete
  12. එහෙනම් ඒ පැත්තේ ඇවිත් බත්කටක් කාල යන්න දැන් බයක් වෙන්න ඕනේ නෑ!

    ReplyDelete
    Replies
    1. :D ඒ ගැන නම් සතේකට බය වෙන්න එපා.. ඕනා වෙලාවක එන්න.. :)

      Delete
  13. >> " ඇති යන්තම්.. දැන් නම් දෙයියනේ කියල බයක් නැතිව කසාද බැන්දෑ කි.. මන් බයේ උන්නේ හැමදාම කඩෙන් කන්න වෙයි කියලා.. " :D << හොදම ටික මේ ටිකය....
    මගේ දුවයි පුතයි දෙන්න නිවාඩු දවස් වලට එක එක රෙසපි වලට විච්චුරන කෑම හදනව ...
    හැබැයි ඉතිං පැන්ට්‍රිය අස්පස් කොරන්න වෙනම කට්ටිය ඕන...

    ReplyDelete
    Replies
    1. :D අපේ ගෙදරත් එහෙම්ම තමා.. :D මං ඉව්වට මං අස් කරන්නේ නම් නැහැ.. ඒවා කරන්නේ අම්මා තමා..
      බලන් යද්දී හැම තැනම ඒකම සින් ඒකම නේ..

      Delete
  14. තාත්තලා කොහොමත් හුඟක් ආදරේ දුවලට කියනවනේ... තාත්තව කැමති කරව ගත්ත නේද... සොඳුරු මතකයන්...

    ReplyDelete
    Replies
    1. දුවලා වැඩියෙන්ම ආදරෙත් තාත්තාලාට කියනවා නේ.. නැතිව නැතිව.. :)

      Delete
  15. තාත්තලා ගැන ලියවෙච්ච බ්ලොග් පෝස්ටුත් අඩුයි..
    දුවලා ගොඩක් ආදරේ තාත්තටලු නෙහ්... :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. පුතාලා ඉතින් අම්මලා ගැන ලිව්වට තාත්තලා ගැන ලියනවා අඩු යි නේ.. තාත්තලා ගැන ලියන්න සාපේක්ෂව බ්ලෝග් ලියන දුවලා අඩුයිනේ.. වැඩියෙන් ම ඉන්නේ පුතාලා නේ බ්ලෝග් ලෝකේ.. :)

      Delete
  16. තාත්තලා ගොඩක්ම ආදරේ දුවලට....
    දුවලත් එහෙම්මමයි......

    ReplyDelete
    Replies
    1. ඒකනේ සිතු අක්කෝ.. :)

      Delete
  17. ආදරණීය පියෙකු පිළිබඳ දියණියකගේ සංවේදී මතක ආවර්ජනාවක්. අපූරැයි!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන අන්කල්.. :)

      Delete
  18. මේ මනු ලෝකේ සුරුදුනි මාගේ
    දෙවියෝ මගෙ ආදර තාත්තයි...

    ReplyDelete