Monday, July 20, 2015

දේදුන පාටයි මුහුණ ඔබේ..


මේ දිනවලට ෆේස්බුක් එකට දේදුනු වසන්තය ඇවිදින්ය. සමහරු දේදුනු පැහැයෙන් තම තමන්ගේ ෆේස්බුක් ප්‍රොෆයිල් පින්තූර වර්ණ ගන්වාගෙන තමන් සමරිසිත්වයට සහාය පළ කරන බව කියාපාන්නට උත්සාහ කරනවාය. ඒ නිසාවෙන්ම මේ දිනවල බොහෝ දෙනකු අතර කතාබහට වාද විවාදයන්ට මෙම දේදුනු පැහැති ඡායාරූ භාජන වී ඇති බව නොකියා බැරිය.

පසුගියදා අමෙරිකාවේ සමරිසි විවාහයන් නීතිගත කිරීමත් සමඟම මාර්ක් සකර්බර්ග් හඳුන්වා දුන් Celebrate Pride ටූල් එක මේ සේරටම හේතුව වෙලාය. හැබැයි ඉතින් සකර්බර්ග් ඕක හඳුන්වා දුන්නේ සමරිසිත්වයට සහාය පළකරන්නේ නම් ඒ අයට යොදාගන්නට මිසක කොල්ලටයි බල්ලටයි හැමෝටම දේදුනු වර්ණ ගන්වාගන්නට නොවන බවත් කිව යුතුමය.

නිකම් දෙනවා නම් දෙන ඕනෙම දෙයක් දෝතින් බදාගෙන අනුභව කරන අපේ ඇත්තෝ හැමෝම කරන පළියට දේදුනු පැහැති මුහුණු යොදාගෙන ඇති බව නම් පේනවාය. ළඟ ළඟ එන ඇමෙරිකානු ජනාධිපතිවරණය නිසාවෙන් ඔබාමා සමරිසි විවාහයන් නීති ගතකළාවත්දෝ එහෙම නැත්නම් සමරිසි ආදරේ පිළිබඳව සැබෑ හැඟීමකින් සමරිසි විවාහයන් නීතිගත කළාදෝ කියා දන්නේ නම් ඉතින් උඩ ඉන්න දෙවි දේවතාවුන්ම විතරය. එහෙම නැතිනම් පසුගිය දවස්වල ඇමෙරිකාවේ සිදුවන්නට ගිය කළු ජාතික සංහාරයේ ආරම්භය නවතාලන්නට ජනතාවගේ අවධානය කඩාගන්නට ඔබාමා යෙදූ පොලිටිකල් ටි්‍රක් එකක් වෙන්නත් බැරි නැත. කවුද දන්නේ ඔබාමාත් ලංකාවේ සිස්ටම් එක කොපි කරන්නට හිතාගත්තාද කියලා.

කොහොමින් කොහොම හරි ඇමෙරිකාවේදී 1950 වසරේ ඉඳන් සමරිසි විවාහයන්ට පුංචි ඉඩක් තිබුණද පසුගියදා ප්‍රාන්ත 50ටම සමරිසි විවාහයන් අනුමත කිරීමේ සතුට සමරන්නට ධවල මන්දිරයන් දේදුනු වර්ණ සමරිසි ධජවලින් හැඩගැන්වුණා. ඒ නිසාවෙන් ෆේස්බුක් තුළිනුත් සිය රට හා එක්ව එම සතුට සමරන්නට මාර්ක් සකර්බර්ග් තීරණය කරන්නටත් ඇති.

හැබැයි දැන් කොයි කාටත් ප්‍රශ්නය වෙලා තියෙන්නේ ඒක නම් නෙවෙයි. ඇමෙරිකාවේ දේ අපිටත් කියලා ළඟ එන මැතිවරණ සමයේ වාසි ගන්නට අපේ කට්ටිය ලංකාවේත් සමරිසි විවාහයන් අනුමත කරාවිදෝ කියලායි.

සමරිසි විවාහයන් නීතිගත කළාට නම් කමක් නැහැ. ඒත් ඉතින් වළලු දාපු අතකින් බත් ටිකක් උයාගන්නට ලේලි පොඩ්ඩක් ගෙදරට ගේනකම් හීන මවපු නැන්දම්මලා මාමණ්ඩිලාගේ හීන ටික නම් බොඳ වෙනවාය. ඒ තමන්ගේ පුතණ්ඩියා වළලු දාන බෑනා කෙනකු ගෙදරට ගෙන ආව දවසටය.

කොහොම වෙතත් ගෙදර කෙල්ල ගිහින් කෙල්ලකු කැන්දන් ආවොතින් නම් එය ලේලියකු නැති වීමේ සාංකාවෙන් පෙළුණු නැන්දම්මලාට නම් ෂෝක්ය. ඒත් ඉතින් සාම්ප්‍රදායික මතිමතාන්තරවලින් ඔළු පිරවුණු අපේ රටේ එවැනි කසාදයක් කරගෙන ගෙට ගොඩවුණොතින් කොසු මිටකින් ගුටිකෑමේ සම්භාවිතාවන් වැඩි බව නම් කිව යුතුමය.

ලංකාවේ පමණක් නොව බොහෝ රටවල් තවමත් සමරිසි ආදරය දෙස යහපත් ඇසකින් බලන්නට සූදානමක් නැතිය. ඒ නිසාවෙන්ම ඔවුන් සමරිසින් හට සලකන්නේ වෙනමම හැන්දකිනි. වෙනකක් තබා අසල්වැසි ඉන්දියාවේ මුල්බැසගෙන ඇති ආගමික සංස්කෘතික හේතුන් නිසාවෙන් සමරිසි ආදරයක විවාහකයක පැටලීම මැරුම් කන්නට තරම් වරදක් වන්නටද බැරි නැත. ආසියාවේ පමණක් නොව සමහර යුරෝපීය රටවල්ද එසේමය. ඒ නිසාවෙන්ද කොහෙදෝ පසුගියදා රුසියාවේ තරුණ තරුණියන් පිරිසක් සමරිසි අයිතීන් ඉල්ලා පෙළපාළි යන්නට ගොසින් අම්බානෙකට ගුටි කෑවෝය.

නමුත් සියලුම රටවල් මෙසේ නොවේ. 2001 වසරේ ඉඳන් දකුණු අප්‍රිකාව, බෙල්ජියම වගේ රටවල් සහ දෙවැනි එළිසබෙත් මහරැජනගේ රාජධානිය වුණු එංගලන්තය 2005 වසරේ පටනුත් මෙම සමරිසි විවාහයන්ට සහාය පළ කරනවාය.
මේ සියල්ලටම හේතුව එක එක්කෙනා ලෝකය දකින කණ්ණාඩිවල ප්‍රමාණයන්ය. අපට ඉතින් ඒවා වෙනස් කරන්නටද බැරිය. නමුත් සමරිසින් දෙස අමුතුවට බැලීම නොකළ යුත්තක් ලෙසින් කියන්නට කැමැතිය.


බහුතරයක් විසින් සමරිස්සන් යනු මානසික රෝගීන් පිරිසක් ලෙසින් හැඳින්වුවද එය එසේ නොවේ. වෛද්‍යවරුන් පවා පවසන පරිදි එය කිසිසේත්ම මානසික රෝගයක් නොවේය. ඉතින් කායික අවශ්‍යතාවන් වෙනස් වූ නිසාවට ඔවුන් මානසික රෝගීන් ලෙස හංවඩු ගැසීම නොකළ යුත්තකි. සමරිසි වුවද ඔවුහු ආදරය කරති. සමරිසිත්වය කායික කරුණු මත පමණක් නොව ආධ්‍යාත්මික හැඟීම් මත ගොඩනැඟුණු සාමාන්‍ය ආදරය පරිද්දෙන්ම වූවක් බව අප කවුරු කවුරුත් සිහිතබාගන්නේ නම් අපූරුය. ඔවුන්ටද අප ලෙසින් මේ ලෝකයේ කැමැති ලෙසකින් ජීවත් විය හැකිය. එය අප කියන්නක් නොව ඔවුන්ගේ අයිතියකි. සමරිසි ආදරය පිළිබඳ ලෝකයේ බොහෝදෙනකු කතා කරන්නට විතරක් නොව සමරිසි ආදරය පිළිබඳ දැන් දැන් අපූරු සිනමා නිර්මාණද බිහිවෙනවාය.

පසුගියදා ලාංකිකයකු වන විසාකේස චන්ද්‍රසේකරම් නිර්මාණය කළ Frangipani සිනමා කෘතියද එක් උදාහරණයකි. නමුත් සමරිසි ආදරයට සේම සමරිසි ආදරය පිළිබඳ කියැවෙන සිනමා කෘතීන්ටද කුඩම්මාගේ සැලකිලි හිමි වෙනවාය. ඒ ඉතින් හැටිය. ඔය සේරම අස්සේ සමහරුන් අපූරු තර්ක ගොඩනඟනවාය. ස්වභාවධර්මය අසමතුලිත වෙනවාය. ලෝකයේ ජනගහනය අඩුවෙලා යනවාය. ලෝකයේ මිනිසුන් වඳවෙලා යන්න එයම හේතුවක් වෙනවාය කියලා. නමුත් ඕවාට ඉතින් අපිට මොකුත් කියන්නට බැරිය. ඒත් ඉතින් වර්ගයා වඳ වීමේ අවදානමක් පවතින්නේ නම් වර්ගයා රැකගන්නට වැඩිවර්ධනය කරන්නටයි. දැන් තියාම දියුණු තාක්‍ෂණික ක්‍රමවේදයන් ටිකක් හොයාගත්තොත් නම් ඉතින් පංකාදුය.

කවුරුන් කොහොම කොයි ලෙසට කීවද ලෝකයේ ගමන් රටාව අපට වෙනස් කළ නොහැකිය. කළ හැක්කේ ලෝකයාට අනුකූලව එක්ව ගමන් කිරීම පමණකි. මේ ලොව ජීවිතය සදාකාලික වූවක් නොවන්නා සේම ලෝකය යනුද එක් නවාතැන්පළක් පමණි. ඉතින් මේ කෙටි කාලයේදී රිස්සන්ට රිසිසේ ජීවත් වන්නට ඉඩ හළ හැකි නම් අගනේය. හැබැයි ඉතින් ඒ කියන්නේ අප සැවොම දේදුනු පැහැයෙන් වර්ණ ගැන්විය යුතු යැයි කියා නොවේය. සියල්ල දෙසම මධ්‍යස්ත ඇසකින් විමසා බැලීම ඔබ සතුය. අපි කිසිවක් නොකියමු. සියල්ලම අයිති කාලයට නිසාවෙන් අනාගතය තීරණය කරනුයේද ඉතින් කාලයමය.

අනාගතයේ දිනෙක ලෝකය පුරාවට දේදුනු වර්ණ විසිරුණහොත් ඒ පිළිබඳව පුදුම වන්නට කාරණාවක්ද නැතිය. මන්ද ඒ ලෝකයේ හැටිය.

අරුණි කළුපහන









10 comments:

  1. නමුත් ලංකාවේ දේදුනු වෙනුවෙන් පෙනී හ්ගිටින අසරණ වෙනන ගහපු වෙලාවේ ඔව් මම එහෙමයි කියපු දේශපාලකයටවත් කොන්දක් තිබ්බේ නෑ තමන්ගේ ප්‍රොෆයිල් එක වෙනස් කරන්න

    ReplyDelete
  2. මේක කලින් කියෙව්වනේ.. පත්තරේනම් නෙවෙයි. බුකියේ වෙන්නෝනෙ..

    ReplyDelete
  3. අරුණියා දැන් දිගටම මව්බිමට ලියන හැඩයි.

    ReplyDelete
    Replies
    1. රස්සාව කරන තැන එතැන නේ බං

      Delete