Thursday, July 30, 2015

කියවන්නා සිහි බුද්ධියෙන් කියවිය යුතුය !!!!

කවීන්ට එහෙමත් නැතිනම් ලියන්නන්ට ආදරේ කරන එක දැන් ලෝකේ ට්‍රෙන්ඩ් එකක් වෙලාය. ඉස්සර නළු නිළියන්ට ආදරේ කරපු කෙල්ලෝ කොල්ලෝ දැන් ආදරේ කරන්නේ කවි කතන්දර ලියන්නන්ටය. ඔවුන්ගේ අකුරුවලටය. තමන් ආස කවියකුගේ කවි පද දෙක තුනක් අරගෙන බිත්තියේ අලවා ගන්න එහෙමත් නැත්නම් ෆේස්බුක් එකේ ඉඩචපඥ කර ගන්න කට්ටිය මාර ආසය. බොහෝ දෙනකු කවි කතන්දර ලියන්නන් අමුණන ලෝකවල ඇති ෆැන්ටසියට ආදරේ කරන්නෝය. අනේ ඉතින් අනතුරුව ජීවිතය දෙන්නට තරම් ඔවුහු කවීන්ට පෙම් බඳින්නෝය. ඒත් බොහෝ කවි කතන්දර ලියන්නෝ අමුණන්නේ සැබෑ ජීවිතය නොවන බව දන්නෝ සිටී නම් ඒ අතළොස්සකි.


ඔය නිසාවෙන් තියෙන දුක හිතෙනම සිද්ධිය වෙලා තියෙන්නේ අද කාලේ අකුරු දෙකක් ගළපන්න බැරි එවුන් ඇවිත් ෆේස්බුක්වලයි බ්ලොග්වලයි කවි කියලා හිතාගෙන එක එක විකාර කොටන එකය. ඒ කවි කතන්දර ලියන්නෝ අනුකරණය කරන්නටය. නැති නම් කවියෝ වෙන්න සිතාගෙනය.


සමහරු ආදරේට කවි ලියති. කෙල්ල තරහා වුණත් කවි ලියති. වෙන එකක් තියා නිදා ගත්තු කෙල්ල නැඟිටින්නට පරක්කු වුණත් කවියක් ලියන්නට තරම් කවි ලිවීමේ උණ හැදිලාය. හැබැයි ඉතින් ලියන කට්ටිය ඒවා කවි කියලා හිතාගෙන ලිව්වාට කියවන අපිට නම් වෙලාවකට ඒවා කවි නොවේය. මළ විකාරය. ඒ තරම් අවුල්ය. ඉවසා දරා ගත නොහැකිම කාරණය කවි කියලා හිතන් සමහරු ලියන වැල්වටාරම් ටික පොතක් විදියටත් මුද්‍රණය කරලා සමාජගත කරන එකය. සැබෑ කවීන් අවුරුද්දට දෙකකට එක පොතක් පිට කරද්දී කවීන් කියලා හිතන් ඉන්න පිරිස මාස තුනෙන් තුනට කවි පොත් ලියන්නෝය. පොත් සාප්පු පිරිලා ඇත්තේ දැන් ඒවායිනි.


මහගම සේකරලා, වික්‍රමසිංහලා රැකගෙන ආව කවි කතන්දරවලට අද වෙලා තියෙන්නේ ඕකය. ලියන එක ඉතින් හොඳය. සමහරු කියනවා වගේ මොකුත්ම නොලියා ඉන්නවාට වැඩිය අකුරු දෙකක් හරි අමුණන එක අගය කළ යුතුය. ඒත් ඉතින් වැදගැම්මකට ඇති දෙයක් ලියන්නේ නම් පමණය. හරවත් යමක් ලියනවා මිසක ‍ෙදාට්ට පිළට යන ගමන් පඳුරු අස්සේ රිංගන ගමන් කියවෙන වැල්වටාරම් කවි කතන්දර ලෙසින් අමුණා පිට කළ යුතු නැත.


අනිත් එක මල් කතාන්දරය. කෙල්ලයි කොල්ලයි රැයක් ගෙවනකම් ෆෝන් බිල් එක ගෙවාගෙන කඩන මල් ටිකයි ආයෙත් කම්මැළිකමට ගහන කෙටි පණිවිඩ ටිකයි එහෙම පිටින්ම පොතකට කොපි කරනවාය. ඕවා කියවන එවුන්ට ඉතින් දෙවි පිහිටය. උණුත් ඒවා අනුකරණය කරන්නට පටන් ගනිති. එහෙම මල් කඩති. පොත් ලියති. විකුණති. ඒ මුදල්වලින් ආයෙත් මල් කඩති. සමහරු එහෙම ලියන පොත්වලට ගෙඩි පිටින් සම්මානත් දෙති. අනේ කාලේ වනේ වාසේය. ඔව්වා ඔහොම වෙනකොට සිද්ධ වෙන්නේ නුදුරු අනාගතයේ දිනක අපට අපේ සාහිත්‍යය යැයි කියා ගන්නට තරම්වත් දෙයක් නැති වෙන එකය.
දවසක අපේ දරුවන් නියම කවියකට කතන්දරයකට උදාහරණ ඉල්ලුවොතින් අපට ද ඉතින් වැලේ වැල් නැති වෙනවා සැකයක් නැත. කවි කතන්දරකාරයෝ කියා ගන්නෝ ඩෙඟා නටද්දී අපි ඇස්පියා සිටියා කියා කෙසේ කියන්නද?


ළඟ ළඟ එන පොත් මාසය නිසාවෙන් මේ දවස්වල තමන් ලියූ කවි කතන්දර කඩදාසි ටික කිහිලි ගහන් ප්‍රකාශන ආයතන මුද්‍රණ ආයතන දිහාවේ රවුම් ගහන්නෝය. සල්ලි දෙනවා නම් ඕනා පොතක් මුද්‍රණය වෙන කාලෙක සාහිත්‍ය මාසෙත් එක්ක එළියට එන සංකර පොත් ටික ගැන කතා කළ යුතු නැත. ලියන්නා කෙසේ වෙතත් කියවන්නා සිහි බුද්ධියෙන් පොත් තෝරා ගත යුතුයැයි පමණක් කියන්නට කැමැත්තෙමි.


ලියන්නෝ සමහරක් ඔහොම වෙද්දී සැබෑ ලියන්නෝ හෙවත් දක්‍ෂ කවි කතන්දරකරුවෝ ද නැතිවා නොවේය. නමුත් ඔවුන් අගය කෙරෙනවා අඩුය. ඔවුන්ගේ පොත් විකිණෙනවාය. විකිණෙනවා නොව විකුණන් කනවාය. ඒ ප්‍රකාශන ආයතන විසිනි. තඹ ‍ෙදායිතුවක් පොත ලිව්ව කෙනාට නොදී පොත් ප්‍රකාශනකරුවෝ පොත් ටිකයි කවියයි හම්බ කරන් කනවාය. ඉතින් හැම පැත්තෙන්ම තැළෙන්නේ අසරණ කවියාය.


ඕවා නොදැන කවීන්ට කතන්දර ලියන්නට ආදරය කළ ඇත්තෝ තිත්ත ඇත්ත දැන ගත් දවසට කවියාට ලියන්නාට බූට් එක තියනවාය. එතැනින් තැළෙන්නේ ද කවියාමය. නමුත් කවීන් යනු අපූර්ව මිනිසුන් යැයි කියන්නේ නිකම්ම නොවේ. ඔවුන්ට ප්‍රේමයේ මළගමද කවියකට කතාවකට අපූරු නිමිත්තකි.
සැබෑ කවීන් කිසි දිනක කුසගින්දර හමුවේවත් අකුරු විකුණන් කන්නේ නැත. තත්පරෙන් තත්පරය ෆේස්බුක් එකේ ලියන්නේ නැතිය. සාහිත්‍ය රැක ගන්නට වෙර දරති. සම්මාන පස්සේ දුවන්නේ නැතිය. සම්මාන දුන්නද නොදුන්නද නොලියා ඉන්නෙත් නැතිය. ගල් මුල් හමුවේ සැලෙන්නේ නැතිය. කොටින්ම කිව්වොතින් සැබෑ ලියන්නෝ දුකවේදනාව වුවද සුන්දරව අත්විඳින මිනිසුන්ය. නමුත් සැබෑ ලියන්නෝ නොවෙන අය එසේ නොවෙති. ඔවුන් හැඟීම් මාර්කට් කරමින් කහවණු සොයති. සම්මාන ඉල්ලති. සාහිත්‍ය සහමුලින්ම අනුභව කරති. වෙනකක් තබා හැම අකුරක්ම වෙළෙඳ වටිනාකමකින් බලති. වෙනස ඇත්තේ එතැනය.


පොත් කියවීමේ මාසය ළඟ එනවාය. ඊටත් කලියෙන් පොත් විකිණීමේ මාසය එනවාය. ඉතින් කවුරු කවුරුත් ඕර්ධ්ඛ්ඩ් එක පැත්තේ පොත් සොයා යන්නට දැන් ඉඳන්ම පෙරුම් පුරනවාය. පොත් කියවිය යුතුය. මිලදී ගත යුතුය. එය සාහිත්‍යයේ උන්නතියට අවැසිමය. නමුත් පොත් මිලදී ගන්නට මත්තෙන් පොතේ අන්තර්ගතය ගැන හිතා බලනවා නම් හොඳය. සාරවත් පොතක් කියවන්නට මිසක අසාර පොතක් සමඟ ජීවත් වෙන්නට කවුරුත් අකැමැතිය. සංකර කුණුහරුප පොත් ලියන්නෝ බිහිවන්නේ ඔවුන්ගේ පොත් මාර්කට් වෙන තරමටය. මන්ද ඔවුන්ගේ පරමාර්ථය වෙළෙදාම් කිරීමය.


පොතක් මිලදී ගන්නට මත්තෙන් පොතේ පසුබිම පිළිබඳ සිතා බැලිය හැකි නම් අගනේය. සාහිත්‍යමය අගයක් විමසා බැලීම වටිනේය. මන්ද ඇස් කන් පියා සිටිනවාට වඩා රටක සාහිත්‍ය රැක ගැනීම අප සතු වගකීමය. නැවතත් කියන්නට කැමැත්තෙමි. ලියන්නා කෙසේ ලීවත් කියවන්නා සිහි බුද්ධියෙන් කියවිය යුතුමය... ඉතින් තීරණය ඔබ සතුය.

අරුණි කළුපහන


1 comment:

  1. එසේ කියා ලියන්නාට ඇති අයිතිය කිසිසේත් සීමා නොකල යුතුය.. ;)

    ReplyDelete