Sunday, April 17, 2016

අහම්බෙන් ලියවුනු කවියක්

කවි ලිව්වෙත් ඉස්සර 
කතා ගෙතුවෙත් ඉස්සර 
නුඹ හිටියෙත් ඉස්සර 
මං දැන් ලියන්නෙත් නෑ මොකුත්ම 
නුඹ නැති හින්දාම 

හැමදේම අතීතයට අයිති නේද 
අපි උන්නෙත් ඉස්සරෝම මතකෙක නේද 
හෙට මනාලිය වී මම යන්නත් ඕනා නේද 
ඉතින් පරණ පෙම් කතා අවුස්සා අවුස්සා 
ආයෙත් ලියන්නේ කොහොමද 

ඊයේ හවසත් නුගේගොඩ හන්දියේ 
නුඹ උන්නාලු ඉස්සර වගේම 
නිල් කොටු කමිසෙට ඩෙනිමක් ගහගෙන 
පරණ විදියටම පොතකුත් අතකින් උස්සාන 
තාමත් කියවන්නේ එමා බොවාරි ද නුඹ 
පරණ පුරුද්දටම 

මගේ මගුලට රෙදි ගන්න ගිය 
නංගි ඇවිත් කිව්වේ නුඹ ගැන 

" අක්කේ අරයා තාමත් පරණ පෙනුමයි 
බ්‍රාහ්මණ ලුක් එක නම් තාමත් එහෙමයි 
කොන්ඩේ කපලා කරාබු ගැලෙව්වාට මොකද 
අක්කේ ඒ මිනිහා තාමත් සල්ලාල පාටයි "

දුක් විදින ගැහැණුන් ගැන 
ටවුන් හෝල් හන්දියේ මොර ගෑවට නුඹ 
මගේ දුක විතරක් නොපෙනුනේ මන්ද 
එමා බොවාරිවත් කියවපු නුඹට 

මං ඉද්දිම හොයා ගත්තු එයා හින්දා 
තුන් අවුරුදු ප්‍රේමේ හැරදා 
පැදුරට නොකියා නුඹත් මාරු උනා 
බැම්මෙන් මිදෙන්න  නුඹත්  
කටු සටහන් පෙලක අන්තිම අකුරත් 
කුරුටු ගා එව්වා 

" අපි ගැලපුනේ නෑ කවදාවත්ම
අපිට අපි ගැලපෙන්නේ නැති නම් 
තව ඉදලා මොකට ද 
ඔයා අම්මලා කියන කෙනෙක් බදින්න 
මමත් හිත හදා ගන්නවා
අහස පොලොව එකතු නොකර අපි ඉමු මෙහෙම 
ප්‍රේමය කියලා දෙයක් නෑ ලෝකේ 
බැදීම් කියන්නෙත් බොරුවක් නේ 
දැන්වත් ඒක තේරුම් අරගනින් නගේ  " 

එහෙම ලියපු ඒ උඹම නේද 
දෙසතියක් යන්නත් කලින්ම 
ඇයත් එක්කම විහාර මහා දේවි එකේ 
ලතා මණ්ඩපය ලග 
පෙම් බස් කෙදිරුවේ හෙමිහිට 
ප්‍රේමය කියලා දෙයක් නැති හින්දා ද 
නුඹ ඈ එක්කත් කොදුර කොදුර 
කඩ කාමර අස්සේ හැංගිමුත්තන් සෙල්ලමේ ගියේ 

නුඹ තාමත් ඈ එක්ක ද 
නැතිනම් මම වගේම එයත්
නුඹ හින්දා දැන් අඩනවා ද
ලපටි දරු ගැබ මේ සැරේත් නුඹ 
හොර වෙදා ලව්වා නැති කරා ද 
නැතිනම් ඒ කිරිකැටියාටවත් 
හුස්ම ගන්න නුඹ ඉඩ දුන්නා ද 

හෙට උදේ 9ට පෝරු සිරිතෙන් 
මමත් කුලගෙට යනවා 
හිසතින් කුලගෙට ගියත් 
කිරි කළ හතකින් මම ඒ මග නාවනවා 
පරණ පිය සටහන් එකීනෙක සෝදා හරිනවා 
අන්තිම කවියත් ඉතින් මෙහෙම ලියලා 
මතකෙන් විසි කර දමනවා

- අරුණි කළුපහන - 







7 comments:

  1. පට්ට................. දිගින් දිගට ම ලියලා තිබුණාට නොගැලපෙන තැන් නැහැ. හරි අගේට ගලාගෙන යනවා.. එක හුස්මට කියවන්න හැකියි....... සුපිරියි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුටු.. :)

      Delete
  2. හරිම පොසිටිව් කවියක්නේ.. අන්න ඔහොම ඉන්න එපැයි.. හිස් අතින් ගියාට කිරි කල හතකින් ඒ මඟ නාවන්නත් පරණ කුණු වැකුණු පා සටහන් සෝදා හරින්නත් හෙට යන ගමනට ශක්තිය ධෛර්ය අපෙනුත්.. :)
    පට්ට..

    ReplyDelete
  3. ඇත්ත, එක හුස්මට කියෙව්වා, දිග උනාට එකම එක තැනක් වත් නැ නොගැලපෙන. මෙහෙම හිතන්න වැඩි දුර නොයා පුලුවන් නම් කවුරුත් කඳුලු ගඟවල් හලන්න ඔනේ නැනේ.. :)

    ReplyDelete
  4. වෙස් මුහුණක් දා ගත්තු මිනිහෙක් වගේ.එහෙම මිනිහෙක්ගෙන් ගැලවිච්චි එකත් මදැයි.

    ReplyDelete
  5. ඇත්තම සිද්ධියක් වගේ..
    කවිය නං අපූරුයි. අපූරුයි කීවෙ අතිශයින් ධනාත්මකයි කියල හිතුණ හිංද.
    හුග කාලෙකින් නේද බ්‍ලොග් එක අප්ඩේට් වෙන්න පටං ගත්තෙ..
    ඒකත් සාධනීය ලක්ෂණයක්...
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
  6. අපූරු කවි පන්තියක්..

    මම වෙන මොනවා කියන්න ද?
    එච්චරටම අපූරුයි..
    හැමෝටම වගේ මටත් පේනවා බොහොම ධනාත්මක ගතියක් .

    ReplyDelete