Saturday, June 4, 2016

හිරණ්‍යදා - 01

කොහේ හෝ දැන් හිදිනවා ඇති ඔබත්
මගේ විජිතේ අහිමි වී මට දැන්
ලැබූ දිනුමක් ඇද්ද ඔබ මා
මැවූ සුන්දර සිහින මතකය මිසක්

සිහින රැකගෙන දිව ආවේ ආදරෙන්
ඇවිද ගිය හැටි ඔබට මතකද ඉතින්
අපට අප නැති හෙට දිනක දුර අරන්
හඬා කුමට ද නොදරුවන් සේ ඉතින්

රාත්‍රිය වෙලාගෙන ඇති හුදකලා නිහඬ බව බිඳගෙන නැඟෙන හිරණ්‍යදාගේ හඬ නදීකව කල්පනාවෙන් මිදෙව්වා. රැගෙන ආ දා පටන් දවසින් වැඩි හරියක්ම මුනිවත රකින හිරණ්‍යදා, දීපිකා ප්‍රියදර්ශනීගේ ගීතයක් හෙමි හෙමින් මුමුණනු ඇසීම පවා නදීකට ගෙන ආවේ සැනසීමක්. හඬා කුමට ද නොදරුවන් සේ ඉතින් කියා මිමිණුව ද ඇයව රැගෙන ආ දා පටන් ඇය දවසින් වැඩි හරියක්ම ගත කලේ හඬා වැටෙන්නට පමණක් බව මේ නිවැසියන්ට රහසක් නොවෙයි. මියුරු මුත් ඇගේ දුක්බර හඬ නදීකට ගෙන ආවේ තමන් ගැනම කලකිරීමක්. නමුත් මේ සියල්ල එසේ සිදු වී හෝ අද ඇය තමන්ට හිමි වී තිබීම නදීකට ගෙන ආවේ තමන් ගැනම සතුටක්. එදා තමන් ඇයව රැගෙන නොආවා නම් අද ඇය අන්සතු බිරිදක්.

නමුත් 21 හැවිරිදි යුවතියක බලෙන් රැගෙන විත් විවාහ කර ගැනීම වසර ගණනාවක් යකඩ කුරු ගනින්නට වන වරදක් බව නදීක නොදන්නවා නොවෙයි. නදීකගේ පියා ප්‍රබල නීතිඥවරයෙකු වූ නිසාවෙන් නිතීය නදීකට අමුතුවෙන් කියා දිය යුක්තක් ද නොවෙයි. නමුත් ඒ කෙසේ වුව ද කල සියල්ල ක්ෂණිකයෙන් වෙනස් වී යා හැකි හෙට දිනය තීරණාත්මකයි. තෙමසකට කලියෙන් බලහත්කාරයෙන් රැගෙන ආ ඇයත් රැගෙන තමන් හෙට දිනයේ කොළඹ මහාධිකරණය වෙත යා යුතු මතක් වෙන වාරයක් පාසා නදීකට ගෙන ආවේ වේදනාවක්.

තරුණ මාධ්‍යවේදිනියක වූ තමන්ගේ එකම දියණිය සේවා කාලය ඇතුලතදී හදිසියේ අතුරුදහන් වීම පිළිබදව චෝදනා කර හිරණ්‍යදාගේ මව්පියන් නදීකට එරෙහිව නඩු පවරා තිබුණා. ඒ විතරක් ද නොවෙයි නදීකගේ ක්‍රියා කලාපය හේතුවෙන් ඔහුගේ සනුහරේටම එරෙහිව පුවත්පත් ලිපි ලියවුනේ ද  හිරණ්‍යදා පැහැරගැනීමට අදාළ CCTV දර්ශන නිසාවෙන් ඔහු ස්ථිරවම වරදකරුවා බව හෙළි වුනේ ද වැඩි කාලයක් යන්නට මත්තෙන්.

ප්‍රකට නීතිඥ නිශ්ශංක විජේබණ්ඩාරගේ පුතුණුවන් කියනවටත් වඩා නදීක වසර දෙකක් තිස්සේ ජායාරූප ශිල්පියෙකු ලෙසින් නමක් හදාගෙන තිබුනේ තමන්ටම අනන්‍යතාවයක් ගොඩනගා ගනිමිනි. නමුත් නදීක ඔහු ගොඩ නගා ගත් කිර්ති නාමය පමණක් නොව සිය පියා ඇතුළු සනුහරේම කිර්ති නාමය ක්ෂණිකයෙන් පහතට ඇද දැමු නිසාවෙන් ලේසියෙන් නඩු පෙරලා දමන්නට දක්ෂ යැයි සම්මත ඔහුගේ පියා වුව ද හෙට දිනයේදී ඔහු වෙනුවෙන් උසාවි භුමියේ දී පෙනී නොසිටින බව නදීකට විශ්වාසය.

පැය විසි හතරකට ගැහැණු විසි හතරක් අරන් යන්නට දක්ෂයි කියා මිනිසුන් නම් කරන ලද විජේබණ්ඩාරලාගේ බාල පුරුක මෙහෙම එක පොඩි කෙල්ලෙක් අයිති කරගන්නට උසාවි අස්සෙත් රිංගාවී යැයි මහා විජේබණ්ඩාරලා කෙදිනකවත් හීනෙකින්වත් නොසිතන්නට ඇත. නිශ්ශංක විජේබණ්ඩාර වුව ද තම පුතුණුවන්ට උපදෙස් දුන්නේ නිදි වැදපන් අමතක කරපන් නැති නම් ගානක් දීලා ගැලවියන් කියාය. ගැලවෙන්නටම බැරිම උනොත් සොයා ගන්නටම බැරි වෙන්නට ඉවරයක්ම කර දමනවා මිසක යශෝදරාවකගේ ආදරය ඉල්ලා කෙල්ලක සිරකරගන්නට කියා නොවේය. නමුත් දෙවසරකට ඉහත දී ඇය ඇස ගැටුණු මොහොතේ පටන් නදීක විජේබණ්ඩාරට පරම්පරාවෙන් ඉගෙන ගත් ගති පැවතුම් පුරුදු සියල්ල මොහොතකට අමතකව ගියේ ය.

තමන්ගේ පළමු  ජායාරූප ප්‍රදර්ශනය නරඹන්නට විද්‍යාත් පබසරිත් සමගින් ඈ ආ හැටි ඔහුට තවමත් මතකය. ඒ කාලයේ ඇය පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කියා මාධ්‍ය ජිවිතයට පා තැබූ අලුතය. හිසේ කෙස් ගානට ගැහැණුන් ඇසුරු කර තිබුන ද ඇය දුටු මොහොතේ පවා ඇය කෙරෙහි යම් විශේෂත්වයක් සිතෙහි ඇති වූ බව නදීකට මතකය.

ඉතින් එහෙම ලේසියෙන් දැන් ඇය අමතක කරන්නට නදීකට නොහැකිය. රැයවල් ගත කරන්නට පමණක් උන් දහසකුත් ගැහැණුන් අතරේ තමන් හා නවතාගන්නට නදීක තෝරා ගත් එකම ගැහැණිය ද හිරණ්‍යදාය. නමුත් හෙට අධිකරණයට ගියෝතින් වන්නේ ද ඇය අතහැර දමා තනිව ආපහු හැරෙන්නට ය.  දැනටමත් තමන් ඇයව බලහත්කාරයෙන් රැගෙන ආ බවට සාක්ෂි බොහෝමයක් උසාවිය සතුව පමණක් නොව මුළු රටක්ම හමුවේ ම ප්‍රසිද්ධව ඇත.


තුන් මාසෙකට කලියෙන් ඇයත් රැගෙන සැගවී ගියා සේ නැවත සැගවෙන්නට ද නැතහොත් හෙට දිනයේ දී අධිකරණය හමුවේ  පෙනී හිද හිරණ්‍යදා බලෙන් පැහැරගෙන ගොස් සගවා තබා ගැනීම පිළිබද වරදකරුවා විය යුතු දැයි නදීකට තවමත් සිතා ගත නොහැකිය. 

6 comments:

  1. හපොයි මේ නදීකය කරල තියෙන වැඩක්. ආයේ අතුරුදහන් උනොත්නම් තව වැඩේ අමාරු වෙනවා. බලමු බලමු ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. නදීක වැඩ කරන්නේ හිතුවක්කාරකමටමනේ කසුන්.. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා.. :)

      Delete
  2. කථාව වෙනස් විදියේ එකක් ,දිගටම ලියන්න .ලස්සනෛ

    ReplyDelete
  3. වෙනසක් තියනවා කතාවේ.. ඇයි ආදරේ කරන්න දන්න ගොඩක් කොල්ලො මේ තරන් හිතුවක්කාර මොණරු....

    ReplyDelete
    Replies
    1. හිතුවක්කාර කොල්ලෝගේ ආදරේ තමා ඉතින් ලස්සන :) එච්චර හිතුවක්කාර ඇයි කියලා නම් දන්නේ නෑ.. හිතුවක්කාර කොල්ලෙක්ගෙන් ම අහන්නම වෙනවා

      Delete