Tuesday, June 21, 2016

හර්ද සුත්‍රය සොයා ගියෙමි



ආදරය ගැන වෙනස් හැගීමක්වත් කියවීමක්වත් තිබුන කෙනෙක් නෙවෙයි මම. ආදරය ආදරයමයි. මට හිතුනේ එහෙමයි. නමුත් මේක ලියන මොහොතේ සුනේත්‍රාගේ හර්ද සුත්‍රය කියවන මට ආදරය දැනුනේ වෙනස් විදියට, වෙනස්ම කෝනේකින්.  දෙයක් කියවන්න හිතුනොත් හොයාගෙන ගිහින් අරගෙන හරි පිස්සෙක් වගේ කියෝන මට දෙයක් ලියන්න හිතුනත් එය නිදිවරාගෙන ලියලා මිසක් නැගිටින්න හිතක් පුරුදු පුහුණු වෙලා තිබ්බේ නැහැ. ඉතින් එහෙම හික්මීමක් නැති හිතක් තියෙන පුන්සරා වගේම පොත් ගුල්ලියක් වෙච්ච මම සුනේත්‍රාගෙයි සමන්ගෙයි එකතුවෙන් ලිව්ව මුදිතගෙයි පුන්සරාගෙයි ආදරයේ මට දැනුනු දේවල් දේවල් සටහනක් තියන්න හිතුවේ මෙහෙම. හැබැයි එකක් මට සුනේත්‍රා සමන්ගේ හර්ද සුත්‍රය ගැන විචාරයක් ලියන්න නම් කොහොමත් ලැස්තිනැහැ. මම ලියන්නේ මගේ හිතට කා වැදුණු සමහර තැන් වලිනුත් කොටසක් පමණයි කියලා කියන්නම ඕනි.


හර්ද සුත්‍රයේ මහා ගැඹුරින් සමන් අතාවුදහෙට්ටි එක්ක ආදරය ගැන විවිධ කතාන්දර ඔස්සේ කියාපාන සුනේත්‍රා තවත් තැනක සරලව මෙහෙම කියනවා.  හැබැයි ඒ ඉස්සර වෙලා වගේ වචන හරඹ වලින් නම් නෙවෙයි. ආදරය උතුරපු කවියකින් මෙහෙම,


මම හරි දඟයි
හොඳ මිනිහෙක් නෙවෙයි
ඔබ හරි අහිංසකයි
හාදුවකින්වත් රිදවන්න දුකයි
ඔබ මල් පෙතිවල කවි ලියයි
කෑලෑ වළා පෙළක ඉසුරුමුණිය දකියි
මුදු රළ  වැලක ගීයක් සොයයි
නල සසල මල් අතර තනුවක් ඇහිදියි


මම හරි දඟයි...


ඔබ මුදු සඳ එළිය වගෙයි
සමන් මලක පිවිතුරු සුවද දැනෙයි
ඔබ අසල මා පොඩි එකෙක් වෙයි
පුජනිය ආදරේ මට දැන් දැන් දැනෙයි


මම හරි දඟයි...  


හර්ද සුත්‍රයේ මුදිතගේ ආදරය හිමි වුන පුන්සරා මම නොවුනත් මුදිතගේ චරිතය පණ දුන්නු වචන වලින් මගේ කම්මුල් ලැජ්ජාවෙන් රත් උනේ ඇයි කියලවත් හදවත මොහොතකට නතර වෙලා ඩබ් ඩබ් හඩින් දෙදරුම් දෙන්න පටන් ගත්තේ මම ඒ තරම්ම හර්ද සුත්‍රය ඇතුලේ ජිවත් වුන නිසාවත් ද කියලා මට කියන්න අමාරුයි.
නමුත් කොයි තරම් ගෑනු පස්සේ ගියත් පනස් එක් වෙනි පෙම්වතියට සමුදීලා ආවත් මුදිත කියන චරිතය ගැන අහිතක් නොහිතා ආදරය කරන්න පුළුවන් විදියට සුනේත්‍රායි සමනුයි හර්ද සුත්‍රයට පණ පොවලා තිබුනා.


මුදිත වගේම පුද්ගලයෙක් කාලෙක මම දැන උන්නු ලෝකෙකත් ජිවත් උනා. ඔහු ගෘහ නිර්මාණ ශිල්පියෙක් නම් නෙවෙයි.  ඔහු මුදිත වගේම නොවුනත් යම් තාක් දුරට මුරණ්ඩු සල්ලාල පිරිමියෙක්. ඒ වගේම ඔහු මුදිත තරම්ම ආදරණියයි. වචනත් හරිම ලෙන්ගතුයි. නමුත් ඔහුත් මුදිත වගේම ගෑනුන්ට බයයි. ගෑණියෙක් ඔහුගේ සීමාවන් අසලට ලං වෙනකොට පැනලා දුවන්න තරම් ඔහු බයගුල්ලෙක්. තැනින් තැනට යන ස්ථිර නැවතුමක් නැති අයෙක්. හර්ද සුත්‍රය විදිද්දී මට මතක් උනේ ඔහුව.


හර්ද සුත්‍රය මම කියවන්න මට ගත්තේ මරදානෙන් කෝච්චියට නගින කොට නමුත් පැය පහ හයක් තිස්සේ මේ වචන ටික ලියද්දිත් මම හර්ද සුත්‍රය කියවමින් උන්නා. කියවන්න පටන් ගත්තු වෙලේ ඉදන් මේ නවත්තපු හතර වෙනි පාර. ඒ කම්මැලිකමකට නෙවෙයි. රිදුම් දෙන්න ගත්තු හිතක් හින්දායි එහෙම නැවතුනේ, සුනේත්‍රා සමන් අමුණපු ජිවිතයට සමීප සමහර තැන් උඩින් යද්දී දැනුනේ හදවතට යවුලකින් අනින්නා වගෙයි. මෙසේ පැත්තකින් තිබුන පාස්තා පිගානේ උඩින්ම තිබ්බ කීල්ස් කෑලි වලට මම ගෑරප්පුවෙන් ඇනගෙන ඇනගෙන ගියේ කාලයක් රිද්දන්න බැරි උන පිරිමියෙක්ගෙන් පලිගන්නවා වගෙයි. ඒ තරම්ම දැනෙන්න සුනේත්‍රා සමන් අනුන්ගේ ජිවිත තමන්ගේ අකුරු වලින් කඩදහියකට අරන් තිබුනා. වෙලාවකට සුනේත්‍රායි සමනුයි හිත්වල තියෙන රහස් හොරකම් කරන බුතයෝ දෙන්නෙක් ද කියලත් මට සැකයි. හරියට රේන්ද ගෙදර හොල්මන් කරන පුන්සරාගේ අම්මාගේ පොඩි බාප්පා වගෙයි.


අවුරුදු දෙකකට විතර කලියෙන් දවසක මගේ යාලුවෙක්ගේ ගෑනු ළමයයි මමයි BMICH එකේ පොත් ප්‍රදර්ශනයට ගිය වෙලෙත් සුනේත්‍රා සමන්ගේ පොත පොත් රාක්ක වල දිලිසි දිලිසි තියෙනවා දැක දැකත් ගන්න බැරි උනේ නම් මගේම කරුමෙකට කියලා මට දැන් හිතෙනවා. සමහර විටක අවුරුදු දෙකකට විතර උඩදී හර්ද සුත්‍රය කියවලා තිබුනා නම් සමහර දේවල් වෙනස් වෙන්න තිබුනා කියලා හැගීමකුත් දැන් දැන් හිත ඇතුලේ හෙමිහිට කොදුරනවා.  


සමහරු ගැහැණු ඉන්නවා මෙහෙම කියන,


මගේ මිනිහා ගෑනු සියක් එක්ක බුදියලා හරි මාව හොයාගෙන එන එක මට ආඩම්බරයක්. ඒ ගෑනු සියත් හරි, ඊටත් වඩා මාව වටින හින්දානේ මට ආදරේ හින්දානේ ඒ මිනිහා මොන ගුබ්බෑයමේ බුදියලා හරි ආයෙම මයේ ගෙදරට එන්නේ.


පුන්සරාත් ඒ වගේ. මට හිතුනේ එහෙම. නැත්තම් ගෑණියෙක්ට පුළුවන් ද ඔහොම මිනිහා නිදි වැදලා එන ගේෂාවෝ ගැනයි මිනිහා එක්ක කෑම කන්න එලියට ගිය ගෑනු ගැනයි කතන්දර අහන් ඉන්න.. අහන් ඉදලා මෙහෙමත් කියන්න,


මං ආසයි ඒ කතා කෙටි කතාවකට ලියන්න..


මුදිත දැන දැනත් වැරදි කරපු පිරිමියෙක්. රටේ ලෝකේ ඉන්න දහසක් ගෑනු ගැන කියෙව්වාට  මුදිත කවදාවත් පුන්සරාව කියවන්න උත්සාහ කරේ නැහැ. ඒක තේරුම් ගත්ත මුදිත අවුරුදු 25කට පස්සේ කාලෙක මෙහෙම කියනවා.


මම පුන්සරාව එක්කන් ගිහින්  බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පුස්තකාලයට බැන්දෙව්වා. එදා එයා ගෙදර ඇවිත් මගේ අත් දෙක අල්ලාගෙන කදුළු වැගුරුවා.


‘ ඔයාට තේරෙන්නේ නෑ මේක මට කොච්චර වටිනවා ද කියලා.. ‘


පුන්සරා කිව්වේ මොකක්ද කියලා මට තේරුණේ නෑ. සුවපත්වීම ( හැම අතීතයක්ම එකතු කරලා පුන්සරා ලිව්ව පොත ) කියෙව්වාට පස්සේ තමයි එදා එච්චර කදුළු වැගිරෙව්වේ ඇයි කියන එක හිතාගන්නවත් පුළුවන් උනේ. එක ගෙදර හිටියත් කෙනෙක්ගේ හිනාවකට කඳුළකට යටින් තියෙන හැබෑ හේතු දැන ගන්න කොච්චර අමාරුද ?  


සුනේත්‍රායි සමනුයි ගැන මට දැනුනේ තද ඉරිසියාවක්. ඒක හරිම පුදුම ඉරිසියාවක්. හර්ද සුත්‍රය මට ලියන්න තිබුනා නම් කියලමයි මට හිතුනේ.


නමුත් කවුරු ලිව්වත් හර්ද සුත්‍රය පුරාවටම මුදිතට ආදරය කරපු ගැහැණු අතරට මමත් එකතු වුනේ මමත් හර්ද සුත්‍රය පුරාවට මුදිත ආදරය කරපු හින්දයි. හැබැයි මම මුදිතගේ පනස් දෙවෙනි ගෑනු ළමයා වුන චීන ජාතික ඩේසිගෙන් පස්සේ ආව 53 වෙනියෙක් නම් නෙවෙයි. ජිවිත කාලේ පුරාවටම මුදිතට ආකර්ෂණ උන අසීමිත ගෑනුන්ගෙන් කෙනෙක්.


ඉස්සර මටත් හීනයක් තිබ්බ ගෘහ නිර්මාණ ශිල්පිණියක් වෙන්න. පස්සෙන් පහු කාලෙක ඒ හීනේ තවත් දිග් ගැහුනා ගෘහ නිර්මාණ ශිල්පියෙකුට ආදරේ කරන්න.  පස්සේ කාලෙක සිදු වුනු සමහර යෝජිත සිදුවීම් එක්ක හැම දෙයක්ම කාලයත් එක්ක යටපත් උනා. ඒවා අතීත කතා. නමුත් ඒ අතීත කතා වල සැගවුණු මතක හර්ද සුත්‍රයේ හැංගිලා තිබුනා නේද කියලා වෙලාවකට මට හිතුනා.


එක තැනක මුදිතගේ ආදරයට හර්ද සුත්‍රයේ පුන්සරා මෙහෙම පිළිතුරක් ලියනවා.


ඔබේ ආදරයට මම ආදරෙයි
ඒත් මට හිටි ගමන්
ඒ ආදරේත් ප්‍රෙහේලිකාවක් වගෙයි
මල් පෙතිවල කවි ලිව්වත්
මා ඔබේ බිරිදයි
ඉසුරුමුණියේ ඉන්නෙත්
අඹු සැමියන් විය යුතුයි


කඳුළක් ප්‍රශ්නයක් ආවත්
නෑ හිතේ අමනාපයක්
ඔබත් හරි සංවේදියි
නල සසල වෙන තතක් බඳුයි


ඔබේ ආදරේට මම ආදරෙයි...


සඳ එළියෙන් කොද මල් පිපෙයි
සඳුත් සුවදෙන් සිතක් පූදියි
මා ගී තනුවක් නොවෙයි
නෙළුමක් පුජිතත් නොවෙයි


මගේ ආදරේ පුජනියයි ඇත්තයි
ඒත් මා දැරියක් නෙවෙයි
දුක සැප බෙදා ගන්නට රිසියි
මා ඔබේ සහධම්මාචාරිනියයි


ඔබේ ආදරේට මම ආදරෙයි 


කොහොම නමුත් හර්ද සුත්‍රයෙන් ආදරයයි රාගයයි කියන්නේ ලා සඳ එළියේ පිපෙන සුවද සේපාලිකා මලක් සහ ගිනියම් අව්වේ පණ පොවන සුරියකාන්ත මලකයි වෙනස කියලා සුනේත්‍රා සමන් නොකියා කියනවා. මට හිතුනේ එහෙම.


මුදිතගේ පුන්සරාගෙයි අතීත මතකයි පුන්සරාගේ ජිවිතේයි ගැන දුර ගමන් යවන සුනේත්‍රා සමන් තැනක මෙහෙම ඇත්තකුත් කියනවා.


“ හැම ලේඛිකාවකගේම පෙම්වතුන් ජිවත් වෙන්නේ සිත ඇතුලේ හංගාගත්තු බයක් එක්ක. ඒ බය තමයි ඒ ලේඛිකාවගේ පොතක චරිතයක් අස්සේ උපදින්න තමන්ට සිද්ධ වෙයි කියන බය.. “


හර්ද සුත්‍රය පුරාවටම ඔය වගේ හිත නැවතුනු තැන් ගොඩක් තිබුනා. කෙටියෙන්ම කියන්න තියෙන්නේ සමන් අතාවුදහෙට්ටිගේ ආදර අංකුර වලටත් වැඩිය සුනේත්‍රාගේ හැම පොතකටමත් වැඩිය මම හර්ද සුත්‍රය සමීපයි.
මුදිත කියන්නේ විශ්වයක්. නැහැ, පුන්සරා ජිවිත කාලෙම අම්මගෙන් ඉල්ලපු මුදිතගේ තාත්තාගෙන් තෑගි හම්බ වුනු ශබ්දකෝෂටත් වැඩිය විසල් තේරුම් ගන්න අමාරු ශබ්ද කෝෂයක්. මුදිත ගැනයි පුන්සරා ගැනයි රැයක් ගෙවෙනකම් කතා කරන්න දේවල් නම් බහුලයි. ඒත් ඒ සේරම ලියන්න බැහැ. නමුත් සිතට දැනුනු තැන් ගොඩක් අස්සේ හුස්ම නතර කරන් බලන් හිටපු තැනකින් මේ සටහන අවසන් කරන්න මට හිතුනා. හැබැයි කොච්චර හුස්ම හිරකරන් බලන් උන්නත් මුදිතවත් පුන්සරාවත් තවම උත්තරයක් නම් දුන්නේ නැහැ.


ප්‍රංශයේ ලුඩ්ස් දේවස්ථානයේ ශුද්ධ වූ ජලය  බෝතලයකට බුද්ධ ගයාවේ පිරිත් පැන් එකතු කරන්න අපිට බැරිද... අනේ සරා මට හිතා ගන්න බෑ.. ව්‍යායාම කරලා එහෙ මෙහෙ ඇවිද්දා ඇති. ඉක්මනට  එන්න.. එතකොට මම ඔයාගෙන් මෙහෙම අහන්නම්..


‘ පුන්සරා මුළු ලෝකෙටම ආදරේ කරන්න කලින් අපි අපිටවත් ආදරේ කරන්න පුළුවන් ද බලමු.. එහෙම බැරි නම් ඔයා කොහොමද ඊට වඩා විශාල පරමාදර්ශී හීන හැබෑ කරගන්නේ...  ? ‘


එතකොට එයා මොනවා කියාවි ද ?


‘ පෞද්ගලික ආදර කතා වලින් මිදෙනවා කියන්නේ ලෝකෙටම ආදරේ කරන්න පුළුවන් වෙනවා කියන එකයි.. ‘ කියලා එයා කිව්වොත් මං මොනවද කියන්නේ...


‘ පෞද්ගලික  සබදතාවලදී ආඩම්බරයක්, අහංකාරයක්, මමංකාරයක් නැතිනම් විතරනේ ජාතික ප්‍රශ්නයක් විසදගන්නත් සුත්‍රයක් හදාගන්න පුළුවන් වෙන්නේ. පරණ තුවාල නැත්තේ කාට ද... ? කොයි රටට ද... ?  “







- Aruni Kalupahana - 


4 comments:

  1. මමත් බොහොම ආසාවෙන් කියපු කතාවක් තමා මේ සුමිත්‍රාෙගයි සමන්ගෙයි හදවතේ සූත්‍රය. මට සමහරඅවස්තාවල වෙනම ම විචාරයන් මේ පොත ගැන තිබුනා. මේ වෙනකල් දෘශ්‍යාබාධිත අය ගැන දනාත්මක ආකල්පයකින් ලියැවුනු හොඳම පොතත් මේකයි මං හිතන්නෙ. යතාර්තය බොහොම හොඳින් නිරීක්ෂනය කරමින් ලියු පොතක් බවයි මගේ හැඟීම.

    ReplyDelete
  2. සුනේත්‍රාග‍ෙ පොත්වලින් මට මඟෑරුණු එකම පොත හර්ද සූත්‍රය.. කියවා බැලිය යුතුයි..

    ඇගේ බුද්ධදාසී,රිදී තිරංගනාවී,නන්දිතය,කවිකඳුර,සුබෝධාලංකාරය ඇතුළු මෙකී නොකී පොත් නම් අතිශය චමත්කාරජනකයි.. ඒ වගෙම ඒ අතරින් බොහොමයක සුවිසල් ගැඹුරක් තිබෙනව..

    ReplyDelete
  3. මම ආදරය කරන නවකතාවක් නංගි. කී වතාවක් නම් කියෙව්වද මතක නැහැ. මේ සටහනත් හරි අපූරුයි..

    ReplyDelete
  4. මේ සටහන හරි අපූරුයි මොණරු.. ලස්සනට ගලාගෙන යන්න ලියලා..පොත කියවලා නැති කෙනෙකුට හොයාගෙන කියවන්න හිතෙන තරන්..

    ReplyDelete