Thursday, February 16, 2017

රස්තියාදුකාර සින්ඩරෙල්ලා - 5

අනුරාධ මිගස්තැන්න.. ඒ තමයි සුභද්‍රා නෝනා මට පාඩම් දෙන්න ගෙනාපු මහත්තයා. ඒකට කියන්නේ හෝම් ස්කුලින් ද මොකක් දෝ ලු. අනේ මන්දා ඒවා නම්. කොහොම හරි ඒ මහත්තයා ගෙදරට ඇවිල්ලා මට උගන්නවා කියලා තමයි සුභද්‍රා නෝනා කිවේ.

අනුරාධ මහත්තයව හොයාගෙන මෙහෙට උස්සන් ආවේ ශාස්ත්‍රීගේ අම්මා. ශාස්ත්‍රීටත් කාලයක් අනුරාධ මහත්තයා ඉගැන්නුවාලු ගෙදරට ඇවිදින්.

“ ඔන්න සින්ඩි අපේ අම්මා ඔයාට හැන්ඩ්සම් කොල්ලෙක් ගෙනවිත් දෙන්න යන්නේ.. “

ශාස්ත්‍රී ඇවිදින් එකපාර එහෙම කිව්වාම මන් බය උන තරමක්.. වික්ටෝරියා ප්ලේස් එකට වෙලා මගේ පාඩුවේ ඉන්න මට හදිසියේ කොල්ලෙක් මොකට ය කියලා හිතෙනෝ නේ කාට වුනත්. 

“ මොන කොල්ලෙක් “

“ ඔව් ඔව් කොල්ලෙක්.. තාම නම් අවුරුදු 28, 29ක් විතර වයස.. නම අනුරාධ.. ගමේ කොල්ලෙක් නම් නෙවෙයි කොළඹ කොල්ලෙක්. ගෙදරට ඇවිදින් ටියුෂන් දෙන ෂෝක් කොල්ලෙක්.. “

“ ටියුෂන් ?? “

සුභද්‍රා නෝනාගේ තනියට ගෙදරට වෙලා ඉන්න මට අහවල් දේ කට ද ටියුෂන්..

“ අයියෝ ශාස්ත්‍රී ඔයා අපේ සින්ඩි ව බය කරනවා බොරුවට.. මේ අහන්නකො සින්ඩි.. ඔයාට ස්කොලේ යන්න බැරි නිසා ගෙදරට ගුරුවරයෙක් ගෙන්නලා උගන්නමු කියලා සුභද්‍රා ඇන්ටි තීරණය කරලා තියෙනවා. ඉතින් අනුරාධ සර් ඔයාට ගෙදරට ඇවිල්ලා උගන්නලා යාවි. ඔයාට අකැමති වෙන්නත් බය වෙන්නවත් හේතුවක් නැහැ දරුවෝ.. “

ඒ වෙලාවේ වෙලාවට යශෝදරා නෝනා එතැනට ඇවිදින් කරුණු කාරණා පැහැදිලි කරත්.. ඒත් මොන එහෙකට ද මට ටියුෂන්.. අනික මං ටියුෂන් අරගෙන දොස්තර විභාගේ පාස් කරන්න යෑ. ගෙදරට වෙලා තනි නොතනියට ඉන්නැයි වත්තේ පිටියේ වැඩක් කරන්නයි මොකට ද ටියුෂන්..

එත් ඉතින් ඒවාට මම මක් කියන්න ද සුභද්‍රා නෝනාගේ තීරණ නොවැ.. මේ පාර මාග්‍රට් නැන්දාත් මොකුත් ම කියන්නේ නැහැ.. ඔය කියන අනුරාධ සර් මහත්තයා එනකම් ම උන්දෑත් දත කට පියාගෙන ඉන්නෝ ද කොහෙද.. මාග්‍රට් නැන්දා මොකුත්ම නොකිව්වාට යශෝදරා නෝනා නම් මෙහෙම කිව්වා.

“ ඔන් සින්ඩි.. අනුරාධ මෙහෙමට ඇවිල්ලා ගිය ගමන්ම මාග්‍රට් නැන්දා මෙහෙම නොකිව්වොත් මෙන්න මගේ කණ,
“ අනේ මන්දා.. මේ ඇහැට කනට පේන ගෑනු දැරිවියෝ ඉන්න ගෙයක් අස්සට ටියුෂන් දෙන්න නෙවේ මක්කට හරි අර වගේ ඉලන්දාරි ගෙන්න තරම් අපේ නෝනේට මක්ක වෙලා ද.. විකා...ර. ශාස්ත්‍රී නෝනේ ගේ අම්මාට මොලේ හොද නෑ.. අපේ නෝනේවත් රවට්ට ගන්නවා..  දැන් ඉතින් අර නැට්ටුක්කාරීත් කැරකි කැරකි ඉදිවී.. කොළඹ හතේ නෝනලාගේ මල සමයං.. “

යශෝදරා නෝනා ඒක කිව්වා විදියට මට ශාස්ත්‍රීට නම් හොදටෝම හිනා..

“ කවුද දැන් නැට්ටුක්කාරී.. “

ශාස්ත්‍රී හිනාව අස්සෙන්ම ඇහුවා..

“ වෙන කවුද ඉතින් මම මිසක්.. යශෝදරා දේවි ආරියරත්න.. “

යශෝදරා නෝනා කිව්වෙත් හිනා වේවිමයි, යශෝදරා නෝනා එච්චර ලස්සන නමක් තියෙනෝ කියලා නම් මන් දැනන් උන්නේ නැහැ මෙච්චර දාසක්..
“ යශෝදරා දේවි ආරියරත්න.. හරිම අපුරු නමක්.. “

ශාස්ත්‍රීත් කිව්වේ ආසාවෙන්..

“ අපේ අප්පච්චි තමා නම දැම්මේ,,  “

“ ඒ කියන්නේ යශෝදරා අක්කිගේ අප්පච්චිට ලස්සන නම් දාන්න පුළුවන්.. නේද සින්ඩි.. “

“ හ්ම්ම්ම්.. ඔව්.. ඒක තමයි.. “

මම එහෙම කියද්දී මට මතක් උනේ අපේ අප්පා.. මයේ නම තියලා තියෙන්නේ නම් අම්මා. ඒත් ඒ අප්පා දාන්න උන්නු නමක් ය කියලයි ඒ දවස් වල පාති නම් කිවේ..  පාති කියන්නේ මයේ අම්මාගේ අම්මා.. එයායිගේ නම සෙල්ලම්මා.. සෙල්ලම්මා කවදාවත් අප්පාට බැන්නේ ම නෑ.. එයැයි කියන්නේ ම මයේ අම්මගේ වැරැද්ද කියලා.. අනේ මන්දා.. ඒ කොහොම වුනත් මට නමකුත් හිතන්න තරම් අප්පා ආදරේ උනා නම් මාව හම්බුවෙන්න ඉන්නෝ කියලා දැන ගත්තු ගමන් ඒම යාවි යෑ.

සින්ඩරෙල්ලා ඇන්ඩර්සන්..

සින්ඩරෙල්ලා කියන්නේ නම් කවුදෝ කුමාරියක් ලු. ඇන්ඩර්සන් කියන්නේ අප්පාගේ නම ලු. අනේ මන්දා.. හැරී ඇන්ඩර්සන්.. ඒ තමයි අපේ පාති කිව විදියට මයේ අප්පාගේ නම.

“ හැරී ඇන්ඩර්සන්.. සින්ඩර්රෙල්ලා ඇන්ඩර්සන්.. ලෙච්චමී සිරිනිවාසන්... “

“ මොකෝ සින්ඩි.. මොනවා ද තනියම කියවන්නේ.. “

ශාස්ත්‍රී එහෙම අහද්දී මට තේරුනේ මම සැහෙන්න වෙලා කල්පනා කොරලා කියලා..

“ මොකුත් නෑ.. මන් යනෝ මාග්‍රට් නැන්දා බලන්න.. “

මම එහෙම කියලා හෙමිහිට කුස්සිය පැත්තට ගෑටුවා.. යශෝදරා නෝනාගේ අප්පා දැන් කොයි ද දන්නේ නැහැ.. ඒත් යශෝදරා නෝනා එයා ව දැකලා හරි තියෙනො නේ.. ඒත් මයේ අප්පාට මාව මතක් වෙන්නේවත් නැත්තේ ඇයි.. හරි පුදුමයි.. එක අතකින් අප්පා කියල කට්ටියක් මොකට මේ ලෝකේ ඉන්නව ද දන්නේ නැහැ.. පිරිමි පුළුටක්වත් නැතිව අපි ගෑනු කට්ටිය අපුරුවට මේ ගෙදර ඉන්නෝ නේ. දෙයියෝ මොකට අප්පා ලවමේ ලෝකේට එව්වා ද.. සමහර විට උන්නැහේටත් දැන් ඒ ම ම හිතෙනෝ ඇති.. මම මොකට පිරිමි කොටහක් මැව්වා ද කියලා.. ඒත් උන්නැහේත් පිරිමියෙක් එහෙම බැලුවොත්. අනේ මන්දා... කොහේ බැලුවත් වංචාකාර පිරිමි යි වැඩකට නැති අප්පා ලයි..
“ අපූ මුරුගා.. ඔයයිට උනත් ඔයිට වැඩිය හිතන්ට තිබ්බා.. “


- අරුණි කළුපහන -
 
aruni.kalupahana@gmail.com

12 comments:

  1. උවමනාවෙන් කියවන කතාවක්...අමුතු ලයින් එකක යන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ වචනම මට ශක්තියක්.. ස්තුතියි අරුණ :)

      Delete
  2. බ්ලොග් ආකයිව් ගහ දිගේ උඩට, පහලට බඩගාලම මට දැන් හති. රස්තියාදුකාර සින්ඩරෙල්ලා - 1 කොටස සොයා දී, වටිනා ත්‍යාගයක් දිනා ගන්න !

    ReplyDelete
    Replies
    1. http://monaru11.blogspot.com/search/label/%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%20%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F..

      Delete
    2. මෙන්න තියෙනවා ඔක්කොම

      Delete
    3. අමුතුම ගතියක් තියෙන කතාවක්. ඉස්සෙල්ලා කියෙව්වෙ 5 කොටස. පස්සෙ ඉතුරුවා හොයාගෙන ආයෙත් කියෙව්වා.
      ප්ලොට් ‍ටුවිස්ට් එකක් එහෙම දාලා ගතානුගතික ප්‍රේම කතා මාදිලියෙන් එලියට ගත්තොත් අපූරුවට තියෙයි.

      ජය!

      ආ 1 කොටස හොයා දුන්නට, දෙන්නටම ස්තූතියි

      Delete
  3. මේක මරු අරුනි. දිගටම කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කසුන් ^_^

      Delete
  4. කතාව වගේම චරිත වල නම් ටිකත් ලස්සනයි බං.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බන් ^_^

      මන් ඒත් බැලුවා.. මෙයා මොකෝ කියවන්න එන්න පරක්කු කියලා..

      Delete