Wednesday, March 1, 2017

රස්තියාදුකාර සින්ඩරෙල්ලා - 7

අනුරාධ මහත්තයා ඇවිල්ලා ගියායින් පස්සේ තමා ඕo අනුරාධ මහත්තයාගේ ගුණ දොස් විචාරය කරන්න මාග්‍රට් නැන්දා හරියටම පටන් ගත්තේ..

" අනේ මං දන්නේ නෑ නෝනේ.. ඒ හැටි ඉලන්දාරියෙක් අපේ එක්ක සින්ඩි නෝනේ ව ගැටෙන්න තියෙන එක හරියාවි ද කියලා.. "

මාග්‍රට් නැන්දා එහෙම කිව්වේ යශෝදරා අක්කාට..

" මොනවා ගැටෙන්න කියල ද මාග්‍රට් නැන්දේ..  අනුරාධ මෙහේ එන්නේ සින්ඩි ඉගෙනිම ගැන බලන්න නේ.. ඉලන්දාරියෙක් වුණත් ගුරුවරයෙක් වුනාම කොහොමත් තම තමන්ගේ සිමාවන් දන්නවානේ.. අනික ඉතින් අනුරාධ එහෙම නරක කෙනෙක් නෙවේ කියල මිසිස් තේනුවරත් සහතික වුනානේ... "

යශෝදරා අක්ක එහෙම කිව්වේ වැඩි ගානක් නැතිව..

" ඒ මක්ක උනත් ගින්දරයි පුළුනුයි එකට පෑහෙන්න තියන්න ඕනිම නෑ කියලා අපේ අත්තලා මුත්තලා කිව්වේත් කට කහනවට නෙවේනේ නෝනේ.. කාට කාටත් ඕවා තේරෙන්න ඉතින් දෙයක් වෙන්නම ඕනි..  "

මාග්‍රට් නැන්දා ඒක කිව්ව සැරට කුස්සියේ මුල්ලේ හිටපු තඩි පුසිවත් ආයේ ඉතින් මීක් කිව්වේ නෑ..

වික්ටෝරියා ප්ලේස් එකේ ඉරිදා දවසට හැමෝටම නිවාඩු හන්දා දවල් වෙද්දි කට්ටිය සෙට් වෙන්නේ කුස්සි මුල්ලට එහෙම නැතිනම් සුභද්‍රා නෝනාගේ ටයිප් එකට කිව්වොත් ඉතින් කිචන් එකට තමයි..

ඉරිදා උදේම පාන්දර පහට විතර ඉදන් චර්ච් යන්න කලබලේ පටන් ගන්නේ සුභද්‍රා නෝනයි මාග්‍රට් නැන්දයි. යශෝදරා අක්කා නම් බුද්දාගමේ හින්දා එයා නම් හොදටෝම දවල් වෙනකම් නිදා ගන්නෝ..

මයේ ආගම ගැන නම් ඉතින් එකක් ය කියල නෑ නොවෑ.. අපේ පාතී ගියේ කෝවිල්.. මයේ අම්මා නම් කෝවිලුත් ගියා පල්ලිත් ගියා.. පල්ලි කියන්නේත් ඉතින් ඔය සුභද්‍රා නෝනේ ඔය කියන චර්ච් එකටම තමයි.

මයේ අප්පා පල්ලි යන කෙනෙක් හින්දාලු මයේ අම්මත් පල්ලි යන්න හිතුවේ..

ඒත් අපේ පාතී නම් ඒ දවස් වල ඒකට ඒ හැටි මනාපයක් පෙන්නුවේ නැහැ.. උන්දා කිව්වේ ම " ඔව්වා මල සමයං " කියලමයි.

පාති කියන විදියට නම් " දාලා ගිය වාහේ වෙනුවෙන් ඔය හැටි නැහෙන්නත් ඕනි නෑලු.. "

අනේ මන්දා පාති මයේ අප්පාට වෙලාවකට කැමතියි. වෙලාවකට අකැමතියි..

මන් දවසක් ඒ ගැන පාතිගෙන් ඇහුවත් එක්ක ඒත් පාතී දුන්නේ මටත් ඒ හැටි තේරුම් ගන්නම බැරි විදියේ අප්‍රබන්ස උත්තරයක්.

" ගෑනියෙක් බඩ දරු කරලා මග හැරලා යන මිනිහෙක් කවදාවත් මහත්තයෙක් වෙන්නේ නෑ මයේ අම්මා.. උන්නැහේ උඹලාගේ අම්මට කරපු ඒ හදිය මතක් වෙද්දි මයේ ඇගේ මාළු නටනවා..ඒත් ඉතින් බoගලාවේ මහත්තයා මොන දේ කරත්  හරි ගුණ යහපත් මනුස්සයා.. ඒත් උන්දෑ උඹව බලන්නවත් ආයේ නාව එකයි අරුමේ.. මිනිහෙක්ට මොන දේ නැතත් දරුවෙක්ගේ මූණ නොබලා ඉන්න පුලුවනෑ.. "

පාතී අන්තීම ටික නන් කිව්වේ සෑහෙන්න හෙමිට.. කදු වලල්ලෙන් එහා ඈත අහස කොන දිහාවේ බලාගෙන ලොකු හුස්මක් බිමට අත හරින ගමන්.. මාත් ඒ වෙලාවේ පාතිගෙන් මොකුත් නාහ උන්නේ උන්දෑ ට දුක හිතුනෝතින් කියලා.

අනේ මන්දා.. අප්පා ඇයි කවදාවත් නාවේ.. බංගලාවත් ඔහේ වහලා දාලා ලු. එතකොට ඒ බංගලාවේ අයිතිකාර මහත්තයා මගේ අප්පා ද.. මයේ අම්මා කවදාවත් ඒ බංගලාව ගැන කතා කරේ නෑ.. මං ඇහුවෙත් නැහැ.. පුංචිම දවස් වල රෑ ට හීනෙන් එහෙම අප්පා ඇවිදින් මාව අතින් අල්ලාගෙන වත්ත අයිනෙන් උඩහට වැටුණු පාර දිගේ එක්කන් යනවා බංගලාව පෙන්නන්න. ඒත් කවදාවත් ඒ හීන වලදිවත් බංගලාව ලගට යන්න හම්බුනේ නැහැ. ඇයි ඉතින් බංගලාවේ ගේට්ටුව ගාව දී හැමදාම හීනෙන් ඇහැරුණානේ.

ඒ කොහොමත් අප්පා දවසක ඇත්තටම ඒවි මාව බලලා යන්න. මයේ හිත කිව්වෙම එහෙම. අනේ මන්දා. ඒත් ඉතින් උන්දැ ආවත් මම දැන් එහෙ නෑ නොවෑ.. එහෙම හිතද්දී නම් දුකයි තමා.. ඒත් ආයේ කාසිවත්තට යන්න අදහසක් නම් මයේ තුන් හිතකවත් නෑ..
“ සින්ඩි “
යශෝදරා අක්කා එහෙම අහද්දී තමයි මට තේරුනේ මෙච්චර වෙලා හැමෝම ඉදලා තියෙන්නේ මයේ මුණ දිහාවේ බලාගෙන කියලා..

“ ඇයි “

“ මොනාද පුතේ ඔච්චර කල්පනා කරන්නේ.. “

එහෙම ඇහුවේ සුභද්‍රා නෝනා.. සුභද්‍රා නෝනා පුතේ කියද්දී මට හරි ආසයි. ආදරේ හිතෙනවා. මම මුකුත් නැහැයි කියන්ට ඔලුව දෙපැත්තට වැනුවා. මන් කල්පනාවෙන් සැහෙන්න දුර ගිය විත්තියක් කියන්න පුළුවන්  වුනාට කල්පනා කරපු දේවල් එකින් එක කියන්න පුළුවන් යෑ.. ඊට වඩා හොදයි නිස්සද්දව බලාගෙන ඉන්න එක.

“ චර්ච් ගිහින් ආව ගමන් අනුරාධගේ ක්ලාස් එකට ඉඩගත්තු නිසා සින්ඩිට මහන්සිත් ඇති නේ.. සින්ඩි කැමති නම් ගිහින් ටිකක් රෙස්ට් කරන්න.. ඔය මහන්සියට හෝන්දු මාන්දු වෙලා ඉන්නේ.. “

සුභද්‍රා නෝනා ඒ කියන තත්පරයෙන් ම මම කුස්සිය මුල්ලෙන් හිමිහිට මාරු වෙලා කාමරේ පැත්තට ඇවිදගෙන ගියේ ඇත්තටම හිතට දැනුනු මහා කලකිරිච්ච හැගීමක් හින්දයි.

අනේ මන්දා ආයේ පරණ දේවල් මතක් වෙද්දී මට මහා කලකිරීමක්  දැනෙනවා. කලකිරීමටත් වැඩිය සැහෙන්න දුකයි. ඔක්කොටම වැඩියෙන් මයේ අම්මා වෙනස් වෙච්ච විදිය මට හිතා ගන්න බැහැ.. මයේ අම්මා පව් කියලා මං දන්නවා. ඒත් මයේ අම්මට මං ගැන හිතන්ට තිබුනා ඔයිට වැඩිය.

ඒත් ඉතින් මට ය කියලා ආදරයක් තිබ්බා නම් මයේ අම්මා කවදාවත් කුඩප්පා කෙනෙක් ගේන්නේ නැහැ නොවෑ.. එහෙම හිතද්දී අන්තිමට අප්පා විතරක්ම නෙවෙයි මයේ අම්මාත් මයේ ගැන හිතලා නැද්ද කොහෙද..



5 comments:

  1. සින්ඩිට අම්මා අප්පා නැතුවට දැන් ඔය පරම්පාරාවක්ම ඉන්නේ "වික්ටෝරියා ප්ලේස්" වල.

    ReplyDelete
  2. මමත් කියෙව්වා.....

    ReplyDelete