Thursday, March 9, 2017

මතක මල් පෙති


සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි

කැම්පස් එකේ අරලියා මල් වැටුණු තාර පාර දිගේ ඩෙනිම් සාක්කු වලට අත් ඔබාගෙන ඔහේ ඇවිදගෙන යන ගමන් අනුරාධ හෙමිහිට මිමිනුවා. තවත් ජයසිරි අමරසේකර කෙනෙක්. මට හිතුනේ එහෙම. පාර අයිනේ සීමාව ලකුණු කරලා තියෙන ගල් වැටිය උඩ පියවර පිට පියවර තියෙන ගමන් මන් ඇහුම්කන් දුන්නේ ආසාවෙන්.. අනුරාධගේ කට හඩ තමයි මන් මේ ලෝකේ වැඩියෙන්ම ආස කරපු කට හඬ.. හොදම ගායකයෝ සියක් වුන්නත් මම පිස්සුවෙන් වගේ අනුරාධගේ කට හඬම තෝරා ගනීවී. ඒ තරම් ඒ කට හඩේ අමුතු වශියක් තිබුනා. සේපාලිකා මලයි මන් ආසම කරපු සින්දුවක්.. මන් කැමතිම සින්දුවයි අනුරාධගේ කට හඩයි. වෙන මොනවා ද ඉතින්.. මට හිතුනේ එහෙම.

මන්දාරමෙන් එහා
දෙව් දුවක් ඇති බලා
මට යන්න දෙන්න සියුමැලියේ
සුවඳ සොය සොයා

ඒ හරිය කියද්දී නම් මට මහා අමුත්තක් දැනුනා.. ඊලග පද පේලිය කියන්නේ නැතිව අනුරාධ මොහොතක විරාමයක් අරන් හිමිහිට පියවර මැන්නේ නිහඩව.

" ඇයි අනුරාධ.. "

මම ඇහුවේ පුදුමෙන් නම් නෙවෙයි. ඒත් සැකෙන්..

" මොකුත් නෑ.. "

අනුරාධ සිනාසෙන්න වෙර දැරුවේ අසීරුවට කියලා මට තේරුණා. ඒත් මම නොතේරුණා වගේ උන්නේ හිතලමයි. වෙන මොනවා කරන්න ද ?

" මොකුත් නැත්තම් අනිත් ටිකත් කියන්න.. මන් ආසයි අහන්න.. "


මේ රාත්‍රියම නිසංසලයි
ඒත් ඔබ නිසා..


“ ඇත්තටම මං නිසා  ද ? “

මම හයියෙන් හිනා වේවී විහිලුවට ඇහුවේ ඒත් ඔබ නිසා කියලා අනුරාධ කිව්වේ මගේ මුණ දිහාවේ බලාගෙන නිසා.

“ ඔව්.. ඔයා නිසා.. “

ඔහු කිව්වේ තාමත් අර හිනාවක් නැති මුනෙන්මයි. මන් ඒකටත් කරේ හොදටම හිනා වෙන එක. එතැන හිනා වෙන්න තරම් හේතුවක් නැහැ කියල මම නොදන්නවා නෙවේ..

“ ඔයා කොහොමද ඔහොම හිනා වෙන්නේ සාරදා.. “

“ ඇයි ඒ එහෙම ඇහුවේ.. “

“ වෙඩින් එකට දවස් කියද ? ඔයාට ඔහොම හිනා වෙන්න පුළුවන් ද ? “


මන් දන්නවා අනුරාධට තිබුන ලොකුම ප්‍රශ්නේ ඒක කියලා.. ඒත් ? අනේ මන්දා.. හිනා නොවී අඩන්න ද ?

“  වෙඩින් එකට තව දවස් දෙකක්ම තියෙනවානේ අනුරාධ.. ඉතුරු ටිකත් කියන්නකෝ.. වෙන කතන්දර වැඩක් නැහැ. “

ගල් වැටිය උඩින් බැහැලා මන් අරලිය ගහ යට වැටිච්ච අරලිය මල් එකතු කරන් පටන් ගත්තේ විසිරිච්ච හිතක් එක් තැන් කරන්න වෙර දරනවා වගේ කියලයි මම ගැන මටම හිතුනේ.


සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි....

මල් පිපෙන තුරු ලතා...
මද සුළගේ නැවතුනා...
සිත දකින දකින සිහිනෙදි ඔබ
මට මතක් උනා...

ඇසි පිය හෙලන්න මොහොතක්වත්
මතක නැති වුනා...


ඒ ගැඹුරු ආදරය පිරුණු හඬින් වේදනාවත් එකතු කරලා සින්දුව කියලා ඉවර වෙද්දී මම තාමත් බිම බලාගෙන අරලියා මල් එකතු කරනවා. සින්දුව කියන්න මහා හුගක් වෙලා ගියාට මන් අරලිය මන් දහයක්වත් එකතු කරලා තිබුනේ නැහැ.

ගහ මුල බිමට නැමී නැමී අරලිය මල් අහුලද්දී මගේ ඇස් වලින් සට සට ගාලා කදුළු කැට තණකොළ බිස්ස මතට වැටුනේ දුකට ද අසරණ කමට ද මට තේරෙන්නේ නැහැ.. ඒ කඳුළු අනුරාධ දැක්ක ද මං දන්නෙත් නැහැ. මන් දන්නේ මෙච්චරයි.  අනුරාධ ඒ සින්දුව මේ වෙලේ කිව්වේ මට කියලා වගේම සැබෑවටම එයා මට ආදරේ කරා කියලා විතරයි. ඇත්තටම මම දන්නේ එච්චරයි.

මම ගවුම් කරෙන් හෙමිහිට ඇස් පිහදගෙන බැලුවේ අනුරාධ දිහාවේ. අනුරාධ මට පිටුපාලා කැම්පස් එකේ ඈත අනන්තය දිහාවේ බලන් උන්නා. අනුරාධටත් නොදැනෙන්න මම එතනින් දුවලා ආවේ තවත් ඇඩෙයි කියන බයට.

නාරද බදින්න වෙන්නේ වෙන කරන්න දෙයක් නැති කමට කියලා මම වගේම අනුරාධත් හොදටෝම දැනගෙන හිටියා. හැබැයි එහෙමයි කියලා අනුරාධ මට ආදරේ කරනවා වගේම මමත් අනුරාධට ආදරේ කරනවා කියලා බොරු බලාපොරොත්තුවක් අනුරාධට දෙන්න මට ඕනි වුනේ නැහැ. මගේ ජිවිතේ මෙතනින් ඉවර වුනාට තවත් කෙනෙක්ට විදවන්න ඉඩ තියන්නේ කොහොමද මන්..

කැම්පස් එක ඉස්සරහින් ත්‍රිවිල් එකට නැග ගත්තු මං කිරුළපන දිහාවට යද්දී ගම්සභා හන්දියේ දී ආව පණිවිඩය අනුරාධගෙන්.

“මල් පිපෙන තුරු ලතා...
මද සුළගේ නැවතුනා...
සිත දකින දකින සිහිනෙදි ඔබ
මට මතක් උනා...

ඇසි පිය හෙලන්න මොහොතක්වත්
මතක නැති වුනා... “

ඒ අනුරාධ.. සින්දුව එහෙම අකුරු කරලා එවල තිබුනේ අනුරාධ ම තමයි.

“ සින්දුව කිව්වා මදි කියලා හිත කියන නිසා ද අනුරාධ ලියලා එවන්න හිතුවේ “

සිනා යන මුඩ් එකකුත් එකතු කරලා මම එහෙම උත්තර යැව්වා..


“ ඔයාට මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ වගේම තමයි මට මේ සින්දුව කොච්චර කිව්වත් එපා වෙන්නේ නැහැ.. කඳුළු තියෙන්නේ අඩන්න තමයි සාරදා.. හැබැයි දැන දැනම පැරදිලා අඩන්න නෙවෙයි. අමාරුවෙන් හරි දිනලා සතුටට අඩන්න.. “

අනුරාධ එහෙම එවලා තිබුනත් මම මොකුත් පිළිතුරක් නොයවා හිටියේ හිතලමයි. ඒ වෙනුවට ෆේස්බුක් ලොග් වෙලා මම කරේ ස්ටේටස් එකක් දාපු එක.

ඒ ජයසිරි අමරසේකර කියන ඔර්ජිනල් සින්දුව යු ටියුබ් එකෙන් හොයලා

මන්දාරමෙන් එහා
දෙව් දුවක් ඇති බලා
මට යන්න දෙන්න සියුමැලියේ
සුවඳ සොය සොයා <3

කියලා ටයිප් කරලා පෝස්ට් කරේ මගේ හිත නිදහස් කරගන්න ඕනි නිසාමයි. අනුරාධ එකට ලයික් කරලා තිබුනත් හැබැයි මොකුත්ම කියලා නම් තිබුනේ නැහැ.

“ කවදාහරි උඹලා ජිවිතේ ඇන ගන්නේ මුණට කියන්න ඕනි දේවල් පේන්න විතරක් ෆේස්බුක් එකේ කොටන්න ගිහින් තමා. ඕවා කතා කරල විසදගත්තා නම් කොයිතරම් දෙයක් ද කියලා උබලට තේරෙයි දවසක.. “

ප්‍රියංවදා දවසක් අනුරාධයි මමයි දෙන්නම ඉන්න තැනක හින්ට් එකට වගේ කියාගෙන ගියෙත් අපි දෙන්නට. හැබැයි ඒ වෙලෙත් අපි දෙන්නම ගොළුවෝ බිරෝ වගේ සද්ද නැතිව වුන්නා. හරියට අපිට නෙවේ කිව්වේ වගේ.  

ආදරේ කියන්නේ කටින් කියලා අයිති කරගන්නම ඕනි දෙයක් යෑ.. ඕක හිතේ තිබ්බා කියලා හෙන ගහනවා යෑ..

මට එදා හිතුනේ එහෙම. හැබැයි ඒ හිතෙන දේවල් ඒ දවස් වල වුනත් මම වචනයෙන් නම් කියන්න ගියේ නැහැ.

“ උඹට පිස්සු ද ගෑනියේ.. “

එකපාර මැසේජ්ර් එකට ආව පණිවිඩය නාරදගෙන්.

“ ඇයි “

මම රිපල්යි කරේ පුදුමයෙන්.


“ දවස් දෙකකින් කසාද බදින්න ඉන්න ගෑනියෙක් වෙලා නහින් අඩන සින්දු ෂෙයාර් කරන්නේ මගුල ට ද ? මිනිස්සු මොනවා නොකියයි ද “

නාරද ගේ භාෂාව එහෙමයි. පුදුම වෙන්න දෙයකුත් නැහැ එකේ.

“ මම ගෑනියෙක් නෙවෙයි නාරද.. මම කෙල්ලෙක්.. වැදගත් විදියට කතා කරන්න. රටේ ලෝකේ මිනිසුන්ට ඔයාට වගේ පිස්සු නැහැ.. විකාර හිතන්න  “

මම එහෙම කියලා ඕෆ්ලයින් ආවා. ට්‍රැෆික් එකේ හිර වෙලා ඉද්දි මම මගේ හිතටම මෙහෙම කිව්වේ ඈතින් කළු කරගෙන එන වැහි වලාකුළු දිහාවේ බලාගෙන.

“ ෆේස්බුක් ස්ටේටස් එකටත් නීති රීති දාන මිනිහෙක්. උඹගේ ජිවිතේ හරි අපුරුවටම තියෙයි සාරදා.. තව දවස් දෙකකින් බැඳලා ම බලමුකෝ ඒකෙත් හැටි.. “


-          අරුණි කළුපහන






No comments:

Post a Comment