Sunday, April 16, 2017

රස්තියාදුකාර සින්ඩරෙල්ලා - 8

යශෝදරා අක්කා පත්තරේ වැඩට ගියා ම ආයේ එද්දී සමහර දාස් වලට සැහෙන්න රෑ වෙනවා. සමහර වෙලාවට මාග්‍රට් නැන්දා නම්

“ මොකද නෝනේ පරක්කු “

 කියලා අහද්දී කියන්නේ

“ හදිසි නිව්ස් එකක් තිබ්බා මාග්‍රට් නැන්දේ..  “            

කියල. සුභද්‍රා නෝනා ඇහුවොත් කියන්නේ

“ රස්සාවේ හැටිනේ ඇන්ටි.. වෙලාවක් කලාවක් කියලා නැහැ “ කියලා.. මන් ඇහුවොත් නම්

“ වැඩ වැඩ, ඉතින් ඉවරයක් නැතිව වැඩ සින්ඩි.. මටත් තේරෙන්නේ නැහැ.. “

කියලා කියනවා. ඇත්තටම යශෝදරා අක්කා මෙච්චර පරක්කු වෙන්නේ ඇයි ද මන්දා.. ඕක ගැන කියන්න ගියාම ශාස්ත්‍රී නම් කිව්වේ හැම දෙයක්ම ගැන ඕනාවට වැඩිය හොයන්න පුරුදු වෙන්න එපා සින්ඩි කියලා. ඒත් මාග්‍රට් නැන්දාත් එහෙනම් හොයන්නේ කිව්වම ශාස්ත්‍රී කියන්නේ පින් සිද්ධ වෙයි මාග්‍රට් නැන්දා වගේ නම් හැදෙන්න තියා හිතන්නවත් එපා කියලා. මාග්‍රට් නැන්දා වගේ වෙන්න එපා කියන්නේ ඇයි ඇහුවේ එතකොට ශාස්ත්‍රී කිව්වේ ප්‍රශ්න පත්තරයක් වෙන්නත් එපා සින්ඩි කියලා..  එහෙම හොද නෑලු..

අනේ මන්දා..

හැමෝම වැඩිපුරම එපා කියලා. තමයි කියන්නේ.. සින්ඩි අරක එපා සින්ඩි මේක එපා.. සින්ඩි දුවන්න එපා.. හෙමින් ඇවිදින්න පුරුදු වෙන්න.. සින්ඩි අරහෙම කියන්න එපා.. මෙහෙම කියන්න එපා.. සින්ඩි කම්මැලි වෙන්න එපා.. සින්ඩි ඕනාවට වඩා හිතන්න එපා සින්ඩි කියලා.. ඇයි හිතන්න එපා කියලා අහද්දී කිව්වේ ප්‍රශ්න පත්තරයක් වෙන එක ගෑනු ළමයෙක්ට ගැලපෙන්නේ නැහැ සින්ඩි.. ඒ හින්දා එපා කියලා.  එපා එපා එපා.. ඔක්කොම එපා තමා.. හැමෝම හැම එකම එපා කියද්දී එපා වෙනවා අප්පා..

මේ ලෝකේ ඉන්න හැමෝම හැම දේටම එපා කියන අය ද මන්දා..

ඒත් මෙයලා මේ කියන හැම එකම කරන්න ගියොත් මට වෙන්නේ කම්මැලිකම ඉහවහා ගිහින් මැරිලා යන්න.. මේක මහා මෙලෝ රහක් නැති ජිවිතයක් අප්පා.. කිසි වැඩක් කරන්න නැහැ..  දණහිස ගාවට දික් වෙච්ච අත් බෝරිච්චි කරපු පිටි පස්සෙන් පටි ගැට ගහන ගවුමකුත් ඇදගෙන ඔක්කොටම වඩා මම නිකම් මොන්ටිසෝරි යන බබෙක් ගානට වැටිලා.. ශාස්ත්‍රී ට නම් එහෙම නැහැ.. එයා කොටට කොටේ කලිසම් කෑල්ලකුත් ගහගෙන අතුත් නැති ටිෂර්ට් එකකුයි ඇදගෙන තමයි එහෙ මෙහෙ යන්නේත්.. ඒත් මන් එපැයි රවුම් කොලර් තියෙන ගවුම් ඇදගෙන පියරු බබා වගේ ඉන්න.. වෙලාවට මාග්‍රට් නැන්දා පියරු ටික විතරයි දාන්න කියන්නේ නැත්තේ.. හැබැයි එක අතකින් ලැයිමේ ඉද්දි අදින බාච්චූ ගවුම් වලටයි දිග සාය කෑලි වලටයි වැඩිය මේ ඇදුම් හොදයි.

ඇදුම් නම් කමක් නැහැ කියමුකෝ.. හච හච ගාලා කියවන ඉංගිරිසි ඉගෙන ගන්න එකයි මැහුම් ගෙතුම් ඉගෙන ගන්න එකයි තමයි ඔක්කොටම වැඩිය හපන්. ඊට වැඩිය මන් කැමති මටත් කුස්සි මුල්ලට ගිහින් උයන්න ඉගෙන ගන්න තිබ්බා නම්.. එහෙම නැතිනම් මිදුලේ කෙරවලේ දණ ගහගෙන  බාබන්ඩේසියා ගස් අස්සේ වැවිච්ච වල් තණකොළ ගස් ගලවන්න තිබ්බා නම්.. එතකොට පේර ගහ උඩටම නැගලා පේර කන ගමන් කෑ ගහලා සින්දුවක් කියන්න පුළුවන් නම්.. තව මල් වලට වතුර දාන බටේ අරන් අහසට වතුරු විදින්න තිබ්බා නම් .. එතකොට මල් වැස්සක වගේම මාවත් තෙමේවි.

මේ ඇත්ත විස්තර ඔක්කොම පාති දැනගත්තා නම් මෙහෙම කෑ ගහාවී..

ඕනාක්කු පයිත්තියමා පුල්ලේ ? උඹ දන්නවා ද ශපට ඉන්ටත් පින තියෙන්ට ඕනි..

කියලා. හැබැයි එහෙම නැත්තම් ඉතින් උඹට පිස්සු ද ළමයා කියලා සිංහලෙන් ම කියලා කණෙන් ඇදගෙන කාසි වත්තට අරන් යන්න ත් ඉඩ තියේ. අනේ මන්දා. එක අතකින් පාති මම කොහෙද කියලා දන්නේ නැති එකමයි හොද..

යශෝදරා අක්කා අද ගෙදර එන්නේ නැති ද මන්දා.. එයා නැති වුනාමත් හෙන පාලුයි.. පාඩම් වැඩ ගොඩකුත් තියෙනෝ අහගන්න. ඊටත් වැඩිය මන් කැමති එයා කියන කතන්දර අහන්න.. හැබැයි යශෝදරා අක්කා නම් කියන්නේ එයාගේ කතන්දර වලට වැඩිය මගේ කතන්දර ලස්සනයි කියලා..

මගේ මොන කතන්දරද අප්පා.. ලැයිමේ වුන්නේ ගේනු මිනිසුන්ගේ කතා ටික කියනවා මිසක්.  හැබැයි මම දවසක් යශෝදරා අක්කට අපේ කාසි වත්තේ විස්තර කියද්දී එයයි කිව්වා කාසි වත්ත පැත්තේ එයාගේ යාලු මහත්තයෙක් ඉන්නෝ කියලා එයා ලව්වා මයේ අම්මා ගැන අපේ පාති ගැන විස්තර හොයා දෙන්නම් කියලා. හැබැයි ඊට පස්සේ නම් යශෝදරා අක්කා ඒ ගැන විස්තර කිව්වෙත් නැහැ. මන් ඇහුවේත් නැහැ. දැන් නම් අහලා බලන්ටත් හිතයි.

ලෙච්චමී සිරිනිවාසන් මයේ අම්මා කවදාවත් ලෙච්චමී ඇන්ඩර්සන් වුනේ නැතිවට මුළු කාසි වත්තේම ගේනු මිනිස්සු මයේ අම්මා ලෙච්චමී කියලා නමින් දන්නවාටත් වැඩිය දැනන් උන්නේ බංගලාවේ සුදු මහත්තයා හින්දා බඩ වෙච්ච ගෑනි කියලාලු. මට එහෙම කිව්වේ දළු නෙලන්න වත්තට එන කමලක්කා.. එයාට හැමෝම කමලක්කා කිව්වාට මොකෝ උන්දා අපේ පාතිලාගේ වයසටත් කිට්ටුයි. අපෝ මහා වාචාල ගෑනි.. එයයීගේ කට ඇරියොත් ඉතින් රෙදි අපුල්ලන මැසිමකටත් හපන්.. කියන්නේම මහා කුඩුකේඩු කතා.

මන් හිතන්නේ අපේ අම්මා එක්ක තියෙන ඉරිසියාවට තමයි උන්දා ඔහොම කියනවා ඇත්තේ.. නැතිව මයේ අම්මාගේ නම කවුරුත් නොදන්නේ කොහොමැයි. ඉස්සර මයේ අම්මා ස්කොලේ ලොකුම පන්තියේත් ඉගෙන ගෙන ඉවර වෙලා ස්කොලේ ළමයින්ට ටීචර් කෙනෙක් වගේ ඉගෙන්නුවාලු. ඒ ඉද්දි තමයි ලු මයේ අප්පා වත්තේ බංගලාවේ පදිංචිට ආවේ.. ඊට පස්සේ ලු හැම දේම වෙනස් වුනේ කියලායි අපේ පාති නම් මට කිව්වේ.
ඒක නම් හැබෑව වෙන්ට ඕනි. මයේ අම්මාගේ ලස්සනටයි  ඉගෙනීමටයි ඔක්කොටමත් වඩා මයේ අප්පාගේ ආස්සරේ හින්ද වත්තේ ගේනු මයේ අම්මට ඉරිසියා කරා වෙන්ට ඇතියි කියලමයි මට හිතෙන්නේ. මොකද ඔය එකක්වත් වත්තේ ගේනුන්ට නෑනේ..

අර යශෝදරා අක්කා කියනෝ වගේ ගේනු තරම් ගේනුන්ට ඉරිසියා කරනවා ජාතියක් තව කොහොවත් නැති ලු. තමන් ආස කරන දේවල් අනිත් කෙනාට ලැබෙනවා නම් ගේනු ඉරිසියා මැරෙන්න යනවා ලු.  ඒ ඉතින් ලබා උපන් හැටි ලු.

එහෙම හිතද්දී මට මෙහෙමත් හිතෙනෝ..  වික්ටෝරියා ප්ලේස් එකේ ඉන්නෙත් ගේනුම නේ.. එහෙනම් මාග්‍රට් නැන්දාගෙන් පටන් ගත්තාම කට්ටිය එක එක්කෙනාට කොහොම ඉරිසියා කර ගන්නවා ඇත් ද හැබෑට..  ඒකත් ජාතියට ඇති අප්පා..




6 comments:

  1. Replies
    1. ස්තුතියි ඉයන් :)

      Delete
  2. ලස්සනයි මොනරි...... ගේනු ඉරිසියා නෑ අප්පාාා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍ර.. නැත්තෙත් නෑ අෆ්ෆා..

      Delete
  3. ගේනු ගැන දන්නේ ගේනුලාමනේ අපිලා ඉතින් මොනවා කියන්නද ?

    ReplyDelete
    Replies
    1. හහහා ඒකනේ ඒකනේ.. හැබැයි අපිටත් වැඩියහොදට ගෑනු ගැන දන්න පිරිමි ඈයොත් ඉන්නවා..

      Delete