Tuesday, April 25, 2017

මියැදෙමි. ආයෙත් නොඑන්නට මියැදෙමි.

හිත කිරිගස්සන ඒ කටුක වේදනාව දරා ගත නොහැකිව හිත හදා ගන්නට මා එකලත් බෝ දේ කලෙමි. මහා පාන්දර ජාමේ කොට්ටෙක මුහුණ ඔබාගෙන කදුළු ගංගා මුදා හැරීමෙන් අනතුරුව හුස්ම හිර වෙන්න ට වූ කල මහා කළුවරේ කිසිවෙකුට නොඇසෙන්නට නිවසින් එලියට දිව ගොස් පිටිපස මිදුලේ වූ ගල් බංකුව මත හිද කෑ හඩා වැටුනේ මා ය. කළුවරටත් බය කෙල්ලක යැයි සන්හුරේම ප්‍රකටව වුන් මා රෑ එකට දෙකට එලි පෙහෙලියට ගොස් එසේ හඩාවී යැයි අසල්වාසින් පමණක් නොව මා ගැන හොදින්ම දන්නා අම්මාවත් නොසිතන්නට නොපතන්නට ඇතිය. නමුත් අහසේ දිලෙන සදත් තරුත් මගේ වේදනාව දන්නවා ය. විටක මහා පාර මැද දී පවා හඩන්නට වූ විට දෑස් තදින් වසා කදුළු ගිල ගත්තේ මා ය. ඉවසා දරා ගත නොහැකිම තැන පැනඩොල් අහුරු පිටින් ගෙන ජීවිතය තොර ගන්නට වෙර දැරුවේ මා ය. පැනඩෝල් සියල්ල ආපසු වමනය කරන තුරු උත්සාහ අත් නොහැරිය අම්මාත් පිහියක් ගෙන මැණික් කටුව අසලින් කපා ගන්නට යාමේ දී දිව ආ අම්මාත් නොසිටින්නට මා අදත් සැනසුම් නින්දකය. ඒ මිට හය හත් මාසෙකටත් දෙතුන් අවුරුද්දකටත් පෙර සිදු වූ සිදුවීම් ය.

පාරමී සුභාර්තා පිටිගල්ආරච්චි නම් මා සෙනරත් පිටිගල්ආරච්චි නම් සිංහල මහාචාර්යවරයාගේ ගත්කතුවරයාගේ එකම දියණිය යයි රටක් නිර්වචනය කරයි. අප්පච්චිගේ සරසවියේ සිසු සිසුවියන් අප්පච්චි සේම රටක් ඉදිරියේ සිංහල භාෂාවත් සමගින් වචන සමගින් සෙල්ලම් කරනා මා දෙස බලා ඉරිසියා කරයි. නමුත් කෙතරම් ලියන්නට ලෝකය දකින්නට හපන්කම් තිබුන ද මා ජීවිතය අභියස පැරදී ඇතැයි ලෝකයා දන්නේ නැතිය. සුරංගනාවකගේ තරම් සොදුරු ජිවිතයක් මට ඇතැයි උපකල්පනය කරන්නන්ට සාප කරන්නට තරම් මම වේදනා විදිමි.

සංකල්ප මිතුරෙකු ලෙසින් මගේ ජිවිතේට එබෙන්නේ මට අවුරුදු 12ක් පමණ වන පුන්චි කාලයේ දීය. නමුත් අම්මාගේත් අප්පච්චිගේත් හිත මිතුරු පවුලක පුත්‍රයෙකු වූ සංකල්ප මට අවුරුදු 16 පටන් මට ආදරේ කරන්නට පටන් ගන්නේ මගෙන් අවසර නොගෙනම ය. කොටින්ම කිව්වොත් බලහත්කාරයෙනි. අම්මත් අප්පච්චිත් ඊට විරුද්ධ නොවූ නිසාවෙන් ඔහුට කැමත්තක් කරගන්න ට ඉඩ දී මා බලා සිටියෙමි. කොටින්ම කිව්වොත් ඔහු මගේ ජිවිතයේ තුල රිසි සේ සියලු නැටුම් නටන තුරු මම නිහඩව බලා උන්නෙමි.

අප්පච්චි.. මගේ ආදරණිය අප්පච්චි සිතුවේ මා සංකල්පට ආදරේ කරනවා යැයි කියා ය. වසර හයක් තිස්සේ සංකල්පගේ හිරිහැර විදිමින් සංකල්පට රිසි සේ ජිවත් වෙමින් පමණක් නොව සංකල්පගෙන් රිසි සේ ගුටි බැට විදිමින් මා ඇහැක් සේ රැක්කා යැයි සිතු අම්මටවත් අප්පච්චිටත් රහසේ මා නිහඩව සිටියෙමි.

මලක් සේ නියපටගින්වත් නොරිදා හැදු දෝනිට සංකල්ප කාමරයක් අස්සේ බිම වැටෙන්න ගුටි බැට දෙනයුරු අප්පච්චි එකවරක් හෝ දුටුවා නම් අප්පච්චි ලය පැලි මියැදෙන්නේ මිට වසර ගණනාවකට පෙරදීය. සංකල්ප කිසි දා කිසිවකුට හේතු නොඉල්ලූ මිනිසෙකි. මගේ ලියවිල්ලේ එක අකුරක ඉදන් මගේ කැම්පස් ජිවිතයේ මා ආශ්‍රය කරන එකදු පිරිමි සෙවනැල්ලක පටන් පාරමී පිටිගල්ආරච්චි තබනා පියවරක් පාසා ඔහුට ඒ ගැන විවේචනයක් තිබුණි. එක් අයුරුකින් සංකල්ප මෘගයෙකු යැයි ඔබ දැන් කියන්න ට ඉඩ ඇත. නැත. ඔහු මෘගයෙකු නොවේ යැයි වසර හයක් තිස්සේ ඔහුව දන්නා මම ඔබට කියමි. ඔහු විටක ආදරණිය මිනිසෙකි. ඔහු ගේ අම්මට තාත්තාට සේම මගේ අම්මටත් අප්පච්චිටත් ඔහු ඉතා ආදරණිය පුතෙකි. සොයුරන්ට ආදරණිය අයියෙකි. මිතුරන්ට බොක්ක වුනත් ගලවා දෙන ඉතා යහපත් මිත්‍රයෙකි. නමුත් පාරමී පිටිගල්ආරච්චි නම් වූ මට පමණක් ඔහු වෛර කලේ ය. දෑස් දෙකට පෙනෙන්නට බැරි තරම් ඔහු මට වෛර කරන්නට ඇතැයි මට විටෙක සිතෙන තරම් ඔහු මගේ හිතට පන්න පන්නා පහර දුන්නේ ය.

අම්මටත් අප්පච්චිටත් රහසේ ගුටි කමින් ආදරේ යැයි මායාවක ගිලි හිද අවසන් වූ තැනක මන් පැනඩෝල් සහ පිහි ආධාරයෙන් ජිවිතයෙන් සමුගන්නට තැත් කලෙමි. ඒ සියලු උත්සාහයන් අසාර්ථක වූ තැන් හිදී අතට අසු වූ ඇදුම් ටික මල්ලක ලා ගෙන අත්තම්මාගේ නිවසට පලා ගොස් සිටියේ ද මා ය. එහෙත් පාරමී පිටිගල්ආරච්චි නම් මගේ ජිවිතයේ සියලු අයිතිවාසිකම් නිත්‍යානුකුල නොවන ලෙස අත්පත් කරගෙන සිටි සංකල්ප දින කිහිපයක් යද්දී මා ආපහු නිවසට කුදලාගෙන ආවේ ය. අයිතියක් නැති නම් කොයිද ඔහුට ඒ තරම් හයියක් යැයි ඔබ අසනා බව මා දනිමි. නමුත් ආදරණිය වෙන්න ඉන්න බෑණනුවන් කියන තනතුරේ හිදිමින් ඔහු සියලු අයිතිවාසිකම් යටපත් කරගෙන සිටියේය. බලහත්කාරයෙන් සිප ගැනීම් මද්දයේ වුව ද ඔහුට ගන්න ට බැරි වූ එකම දෙය යැයි මට අවසානයේ ඉතුරු වුයේ ගැහැණු දරුවෙකු ලෙසින් මට වටිනාම දෙය වූ මගේ පිවිතුරුකම පමණක් මය. සංකල්ප වන් මිනිසෙකුගෙන් ඉදුල්ව මියැදෙනවා ට වැඩිය මට නොයිදුල් ව මියැදෙන්න ට අවැසි යැයි මා තාමත් කියමි.

ආවේග දරා ගත නොහැකිව මගේ අම්මා ද ඉදිරිපිට බිමට මට පහර දුන් දිනෙක මා දිව ගොස් අප්පච්චිගේ දෙපා මුල වැටි කෑ ගසා හඩමින් සියල්ල වැමරුවෙමි. අම්මා එය උරුම ජීවිතය යැයි කිව ද අප්පච්චිගේ හැම හුස්මක් පාසා සංකල්ප කෙරෙහි වූ කෝපයෙන් පිරි තිබුණි. අම්මාත් අප්පච්චිත් එදින මට සංකල්ප ගැන තීරණයක් ගන්න ට කිව ද මා අසරණ ව බලා සිටියෙමි. ඇත්තය. මා සංකල්පට බිය ය. වල් අලින් සියක් හමුවේ මට සටන් කරන්න ට හැකිය. නමුත් සංකල්ප ට මා බය ය. ජීවිතය එය යැයි ඉවසා ව ගන්න ට තරම් කියා මට මහා ලොකු කාලයක් නොලැබිණි. ඉතින් සංකල්පගේත් මගෙත් විවාහයට දැන් දැන් සියල්ල සුදානම් කරන්නේ ද කැමති තීරණයක් ගන්න ට කියා මට කියූ අම්මත් අප්පච්චිත් ය. වසර ගණනක් තිස්සේ ලෝකයා දැන හුන් පෙම් කතාවක් බිද දමන්නට නොහැකි යි ඔවුන් මා හට ඇවිටිලි කරන්නේ මා ගැන ද නොසිතා ය. එහෙත් ඔහුට ආදරය නොකර මාත් මට ආදරය නොකරන ඔහුත් එක් ව කුමක් කරන්න ද කියා ඔවුන් නොසිතන්නේ මන්ද යැයි මට වැටහෙන්නේ නැතිය.

විවාහය යනු මගේ ජීවිතය යැයි මා විශ්වාස නොකරමි. විවාහ නොවී ගැහැනියක ට තනිව ජිවත් විය හැකි මා විශ්වාස කරමි. ඉතින් මා සටන් කලෙමි. සිංහ ධේනුවක ලෙසින් සංකල්ප හා කලහ කොට ගුටි කෑවෙමි. අම්මා සමගින් වාද කරමින් බැනුම් ඇසුවෙමි. අප්පච්චි අසලදී අප්පච්චිත් මාත් දෙදෙනාම අසරණ ව සිටියෙමි. දැන් තබන අඩියක් පාසා මගේ නැදෑ සනුහරේම මට සංකල්පගේ ගුණ වයමින් සිටි. මා කෙතරම් අවාසනාවන්ත දැයි මා නොදනිමි. නමුත් දෙතුන් මාසෙකින් මට සංකල්ප බිරිද වන්න ට තරම් කාලකන්ණි තත්වයකට ඇද වැටෙන්නට නොහැකිය. අප්පච්චි මට දුන් දායාදය මගේ වචනය. මගේ ලිවීමේ හැකියාව. ඒ මුහවත් කමින් ම මම මගේ අරගලය කර ඇත්තෙමි. ඒ කවි ලෙසිනි. කතන්දර ලෙසිනි. වේදනාව දරා ගත නොහැකි තැන මා පලි ගත්තේ වචන තුලිනි. රිසි සේ හිතට දැනෙන වචන එහෙ මෙහෙ දුවවමින් මා වචන සමගින් සෙල්ලම් කොට කවි බවට පත් කර මගේ ප්‍රකාශනය ඉදිරිපත් කලෙමි. මා මගෙන්ම පලි ගත්තේ එහෙමය.

පාරමී සුභාර්තා වුව ද මගේ නමෙහි පවා ඇති සුභ අර්ථය කුමක් දැයි රෑ දිවා මා මගෙන්ම විමසමි. මා මහා පව්කාරියක්මි.  නමුත් මේ තරම් ආදරේ නොලබන්නට තරම් මේ තරම් ආදරේ මග හැරෙන්න ට තරම් පිවිතුරු ආදරයක උරුමකාරියක වන්නට නොහැකි වන්නට තරම් මා කෙතරම් පව් කරන්නට ඇති දැයි මා නොදනිමි. මා මෙසේ මගේ වේදනාව අකුරු කරනා මොහොතේ පවා සංකල්ප කොහේ හෝ හිදින කෙල්ලක හා චැට් කරමින් මල් කඩමින් හිදිනා වග ද මා දනිමි. මා එය දකිමි. නමුත් මටත් වඩා පව්කාරයෙක් වූ ඔහුටත් නොමැති තරම් මේ තරම් ගින්දරක් දළදා හාමුදුරුවන් මට දුන්නේ ඇයි දැයි මා නොදනිමි.

දෛවය යැයි සිත හදා ගනිමින් ජීවිතය ගෙවන්නටවත් ඉරණම්කරු යැයි සිත හදා ගනිමින් සංකල්ප බිරිද වෙන්නටවත් නොහැකි හෙයින් නුදුරු දිනකින් නැවත ද ජිවිතයෙන් සමුගෙන යන්න ට මා තීරණය කලෙමි. ජිවිතයේ සුබ ලකුණක් සොයා ගත නොහැකිව වසර හයක් ඉබා ගාතේ කල් ගෙවූ මා තව කෙතරම් නම් කල් බලා හිදින්න ද ? සුන්දර යැයි කිව හැකි ජීවිතයක් නැති කල හැකියාව නම්බු නාමයක් පල රහිතය. මා සොදුරු කිවිදියක බවට සොදුරු ලිය්න්නියක බවට පත් කලේ මගේ වේදනාව යැයි මා යලිත් ඔබට කියමි. එහෙත් තවත් කල් ඒ සොදුරු කවිකම් දරා කුමට ද ? කවුරුන් නිසාවෙන් ද ?
                                                                                                 
මම,

පාරමී සුභාර්තා පිටිගල්ආරච්චි



8 comments:

  1. හරිම ලස්සනයි. ඇත්ත කථාවක් නොවේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්.. :)

      මේ වගේ ඇත්ත සිද්ධිත් තියෙනවා ඉයන්..

      Delete
  2. හදවත නිකන් මෙව්වා වුනා වගේ

    ජය වේවා ..!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුමුදු :)

      Delete
  3. එල ද බ්‍රා ලියවිල්ල ..
    ඇත්ත කතාවක් නොවේවා ...

    ReplyDelete
  4. පාරමී සුභාර්තා පිටිගල්ආරච්චි වෙත සෙනෙහසින් ලියන වග නම් නැගණිය ඔබේ ජිවිතයේ භාරදුර තින්දු ගතයුත්තේ ඔබ විසින්ම මිස වෙනකෙකු විසින් නොවන බව මා සිතමි.මන්ද එවන් තීරණ වලට පසු පැමිණෙන තත්වයන්ට මුහුණ දිය යුත්තේ ඔබම මිස වෙනකෙක් නොවන නිසාය.ප්‍රශ්න වලින් පලා යාමට තම ජීවිතය තොර කර ගැනීම නිශ්පල ක්‍රියාවක් බව මා තරයේ අදහමි.ඒ බැවින් නැගණිය තව දුරටත් ඔබ ඔහුගේත්,දෙමව්පියන්ගේත් අත්අඩංගුවේ නොසිට තම ජීවිතය ගැන නිවැරදි තීන්දුව හරි ලෙස ගනු ඇතැයි මගේ බලාපොරොතුවයි.

    ReplyDelete