Saturday, July 8, 2017

මගේ කටහඩ ඇහෙද්දී ගල් ගැහෙනවා විතර ද ?

හැම හමුවීමකටම අරුතක් තියෙනවා. මානවී කියන්නේ එහෙම. මානවි එහෙම කිව්වට විශ්වගෙයි මගෙයි තියෙන හමුවීමේ අරුත මොකක්ද කියලා මන් තාම හිතනවා. විශ්ව කියන්නේ හරිම ලස්සන කටහඩක් තියෙන කෙනෙක්. ඔහුට කෙටියෙන් ගායකයෙක් කියලා කොටු කරලා දාන්න මට හිතෙන්නේ නැහැ. විශ්වගේ කටහඩ ඇහෙද්දී ස්වර්ගයේ දොරටු විවෘත වෙලා දේවදුතයෝ එබිලා බලන් ඉන්නවා ඇති කියලයි මානවි නම් විහිලුවට කියන්නේ. මට නම් ඇත්තටම එහෙම හිතෙනවා. එයා ගිටාර් එක ප්ලේ කර කර සින්දු කියද්දී සමනලයෙක් වගේ වටෙටම පියඹලා නටන්නමයි මට හිතෙන්නේ..

මානවිගේ ජිවිතේ ගෙවෙන්නේ කැමරාව එක්ක. මානවි එක්ක නුවර වීදී දිගේ ෆොටෝ ගහන්න ඇවිදනකොට ඇද හැලුන තුනී මල් වැස්ස එක පාර කැට වැස්සක් වෙලා පහර දෙන්න ගත්තු නිසාම අපි දුවගෙන ගියේ ලග තිබුණු කොෆි අවන්හලට. විශ්ව හිටියේ එතන. පෙනුමට ඔහු එම අවන්හලට නිතර යන එන කෙනෙක් වගේ පෙනුනා. මොකද සේවකයෝ එක්ක සුහද කතාබහක හිටපු නිසා. අපි හැරුණු අවන්හලේ හිටියේ විශ්වයි සේවකයිනුයි විතරයි. ආ තව විශ්ව ලගම ගිටාර් එකකුත් තිබ්බා. දුම් දමන කොෆි බදුන් එක්ක මමයි මානවියි කැමරාවේ ෆොටෝස් බල බලා ඉද්දි එකවර ඇහුනේ මට කවදාවත් අමතක නොවෙන ඒ තාලයක් මුමුණපු කටහඩ.. munbe vaa.. ඒක තමා සින්දුව. හිටපු විදියටම ටිකක් වෙලා ඇහුන්කම් දීගෙන හිටපු මමයි මානවියි ඊළගට පුදුමයෙන් එකවරම හැරිලා බැලුවේ ඔහු දිහාවේ.

හීනි දිගටි ඇස් කැරලි කොන්ඩේ එක්ක තලෙළු මුහුණ.. කටහඩ වගේ ඔහුගේ පෙනුමත් කඩවසම්.. අපි බලන් ඉන්නවා දැක්ක ද නොදැක්කා වගේ හිටියා ද අනේ මන්දා. ඇස් දෙකත් වහගෙන ගීතයටම සම වැදිලා හිටපු විශ්වගේ ඇගිලි ගිටාරයේ තත් පුරා දිව්වේ වගේ වගක් නැතිව අකීකරුව. මගේ අයිෆෝන් කැමරාවෙන් ගත්තු ඒ පලවෙනි ලස්සන මතක සටහන ඒ වීඩියෝව මගේ ෆෝන් එක තාම දාරාගෙන ඉන්නවා. හැම තැනම සමනල්ලු මට ඒ වෙලේ නම් හිතුනෙම එහෙම.

මානවි නම් ගීතය අවසානයේ නැගිටලා අත්පුඩි ගැහුවා විතරක් නෙවෙයි ලගට ගිහින් සුභ පැතුවා. එයා විශ්ව කියලත් මට කිව්වේ මානවි. හැබැයි මට පුළුවන් හිටපු විදියටම ගල් වෙලා සමනල්ලු ගැන හිත හිතා ඉන්න විතරයි. හිනාවෙන්න තියා කම්මුලක් ලාවට හොලවන්නත් බැරි විදියට මාව ගල් වෙලා තිබුනා. ඒ වීඩියෝ එක බලන හැම වෙලාවේම ඒ හැගීම තවමත් එහෙමයි.

සතියක් ගෙවෙන්න ඇති දෙකක් නැති නම්... දවසක් මගේ දුරකථන ඇමතුමක් ලැබුනා. හෙලෝ කියන්න විතරයි හම්බුනේ.. එහා කෙලවරින් ආයෙත් munbe vaa ගීතය. දෙවියනේ.. ඒ කටහඩ. එදත් මම පුදුම වෙලා බලන් අහන් හිටියා.

“ තවමත් මගේ කටහඩ ඇහෙද්දී ගල් ගැහෙනවා විතර ද ? හිනා වෙන්න අමතකද රධ්‍යා.. “

ඔහු ඇහුවේ එහෙම. මානවි තමා සේරම කරන්නේ. ඉතින් අපි කතා කරා. දවස් ගෙවනකම් මැදියම් රැයවල් පාන්දර ජාමේ ගෙවනකම් අපි කතා කරා. තාමත් එහෙමයි. ඒක නිමක් නොවෙන සංවාදයක්. ඒ වගේම ඔහු මට තාල මිමිණුවා. මටම අලුත් වචන එක්ක තාල හැදුවා. හැබැයි තාමත් munbe vaa කියද්දී මට දැනෙන හැගීම එහෙමයි.

“ රධ්‍යා මට ආදරේ ද ? රධ්‍යා අපි අපේ කවුද ? රධ්‍යා අපි හොදම යාළුවො ද ? රධ්‍යා තවමත් අපි ආගන්තුකයෝ ද ? “

ඔහු කවදාවත් මගෙන් එහෙම ඇහුවේ නැහැ. මමත් නැහැ. හැබැයි ඒ වචන තාල නම් ආදරේ පිරිලා තිබුනා කියලා මට හොදටම දැනුනා. තාමත් දැනෙනවා. එක දවසක් විශ්වට මට කතා කරන්න බැරි වුනොත් ඒ නිසාම වෙන්න ඇති මගේ මුළු ලෝකෙම හිස් වෙලා එපාම වෙලා තියෙන්නේ. වම් උරහිසේ ගිටාරයක් එල්ලගෙන උරහිසට දික් වුන කැරලි කොන්ඩේ එක්ක හිනි දිගටි ඇස් වලින් මන් දිහාවේ බලාගෙන දකුණු අතින් මගේ අත තදට අල්ලගෙන ඔහේ නුවර විදි දිගේ ඇවිදගෙන යන රූපයක් මගේ හිතේ හැමදාම හොල්මන් කරනවා. කොෆි ෂොප් එකේ දෙපැත්තෙන් ඉදගෙන මුහුණට මුහුණ බලාගෙන ආදරණිය තාල මුමුණන රූපෙකුත් ඒ ලගින්ම තියෙනවා. විශ්ව දන්නේ නැතිවාට. හැබයි මන් හැරෙනකොට මොකද කරන්නේ කියන විශ්ව ඒක නොදැන ඉන්න විදියකුත් නැහැ.

කොහොම වුනත් අපි අපේ කවුද අපේ හමුවීමේ අරුත මොකද කියලා නොදැන හිටියාට මේ හමුවීම නම් කවදාවත් වෙන් නොවෙන හමුවීමක් කියලා මට දැනෙනවා. ඒ හැගීම මට ඇති. ස්වර්ගයෙන් පාවෙලා එන සමනලුන්ටත් වැඩිය. හැම හමුවීමක් ම ආදරෙයි කියලා ආදරේ කරලා නැවතුමක් හොයාගෙන ඕනි ද ? ආදරයයි ආගන්තුකමයි අතර අවකාශයේ හැගීමක අපිට ජිවත් වෙන්නම බැරි ද ? හැම බැදීමටම හැගීමට නමක් දීලා සීල් කරන්න ඕනි ද ? ආදරේ කියලා කටින් කිව්වේ නැති නම් ආදරේ දැනෙන්නේ නැති ද ?? සංගීතයේ සප්ත හඬ ස්වර එක්ක අකීකරු ගිටාරයේ මුරණ්ඩු තාල කියන්නෙම ආදරේ ගැන නෙවේ ද ? ඒවා තමයි මගේ හිතේ හැම තිස්සෙම දැවෙන ප්‍රශ්න.. හැබැයි කොෆි කප් එකයි ගිටාර් එකයි අර හිතුවක්කාර කැරලි කොන්ඩේයි ඒ කටහඩයි මට ඇහෙන දැනෙන මානේ ඉන්නවා නම් හැමදාම මට සංසාරේ කොච්චර දුර වුනත් ඒ ප්‍රශ්න වලට උත්තර ඕනි නැහැ. ඒ ස්වර්ගීය හැඟීම ඒ සමනල්ලු ඒ දැනෙන ආදරණිය සිතුවිලි මට ඇති. ඉතින් හැම හමුවීමකට අරුතක් තිබුනාට ඒවාට නම් වර්ණ ගන්වලා පැත්තකින් තියන්න මට නම් ඕනි නැහැ. මට ඕනි හැමදාම මේ විදියට ඒ මොහොතට ආදරෙන් සදහටම ඒ හැගීම් එක්ක ජිවත් වෙන්න.

අරුණි කළුපහන

2 comments: