Sunday, November 18, 2018

ආදරේ කියන්නෙම මායාවක්..

ඔහු ගැන කොතරම් දේවල් ලිවුව ද කිසි දිනක ඔහු වෙනුවෙන් හඩන්නේ නැතැයි මා දැඩි තීරණයක උන්නෙමි.

ඒ මතකය හදවත මහා දැවිල්ලකින් අවුළුවා තත්පරයක් පාසා මා වේදනාවෙන් මුසපත් කල ද  කිසි දිනක නොහඩමි යැයි මා සිත දැඩි කරගත්තේ දෑසෙන් උතුරන්න ලං වු කඳුළු දෑස් අස්සෙ අමාරුවෙන් රදවා ගනිමින්. හිත අස්සේ ඉකි ගසනා හැගීම්, කඳුළු එලියට විසි කර දමන්න යැයි අරගල කරද්දීත් .ආදරේ නොහදුනන මිනිසෙකුට ආදරේ කිරීම ම තරම් ලොවේ කිසිවක් වේදනා දෙන්නේ නැතිව ඇති.

සමහර වෙලාවට මට එහෙම හිතුනේ ඔහු ගැන ඇති වෙන දැඩි කෝපයත් සමගින්. නමුත් ඔහුට මා වෛර කරන්නේ කොහොමද ?  හිත පුරා උතුරපු ආදරේ ඔහුගේ නමට ම ලියවීලා තියෙද්දී. සමහර දවස් වල ඔහුගේ හැසිරීම් එක්ක මා ඔහුට කෙතරම් ආදරේ කරන්න ඇති දැයි ඔහු දැන ඉන්න ඇතැයි මට සිතුනා. සමහර විට ඔහු නොදැන ඉන්නත් ඇති. එහෙමත් නැති නම් මා ඔහු ට පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් නොවටින්න ඇති.නමුත් ආදරේ කරන්න අත්තිවාරම් දැම්මේ මම නෙවෙයි ඔහු.  ඔහු දවසක මෙය කියෙව්වොත් කියාවි තනි අතකින් මට අත්පුඩි ගහන්න බැහැ කියලා ඔයා හොදටම දන්නවා කියලා..

ඔහු කොහොම කිව්වත් අයිති නැති ආදරයක් ගැන අරගල කරන්න ගිය ඔහුත් හොදටෝම වැරදි. ඔහු යි හැමදෙයක් ම අවුල් කරලා දැම්මේ.. මං නෙවෙයි. මන් එහෙම කියලා හිත හදා ගන්න වාර අනන්තයි.

" නොඑනා මිනිහෙක් වෙනුවෙන් අඩන්න එපා දෝණි.. "

" ගෑනු අඩන්නේ නැහැ සුදු නෝනා.. ගෑනු හරිම ශක්තිමත්.. "

" එයාගේ හැටි දැන දැනමයි ඔයා එයාට ආදරේ කරේ රධ්‍යා.. ඒ මිනිහා අච්චර සල්ලාලයෙක් බේබද්දෙක් කියලා දැන දැනත් ආදරේ කරා නම් ඔයා ඔය වැටි වැටි අඩන එකේ තේරුම මොකක් ද.. "

" පුංචි කාලේ ඔයා බෝනික්කෝ ඉල්ලලා අඩද්දී අපි ඔයාට ඒවා ගෙනවිත් දුන්නට ඔයා දැන් ඔය ඉල්ලලා අඩන බෝනික්කා ඔයාට කවදාවත් හම්බෙන්නේ නෑ චුටි නංගි.. "

මගේ අය ඔය වගේ ගොඩාක් දේවල් කියලා හිත හදපු වාර අනන්තයි. ඒත් මගේ හිත ආයේ හැරෙන්න බැරි තරම් දුරක නතර වෙලා කියලා එයාලට මන් කොහොම කියන්න ද ?

නෙළුම් පොකුණ ගාවින් ඇවිදින් විහාර මහා දේවි එක අයිනේ පාරේ පුස්තකාලේට යන සැරයක් පාසා මට මතක් උනේ ඔහුව. පාර දිගට විකුණන්න තියලා චිත්‍ර අස්සෙනුත් මම හෙව්වේ ඔහුව . පුස්තකාලේ පොත් රාක්ක අස්සේ ඉදන් සරච්චන්ද්‍රගේ නාට්‍ය ශාස්ත්‍රය පොත් පෙරලද්දී උනත් පොත අස්සේ එලියට ආවේ ඔහු මිසක් වෙන කවුරුත් නෙවෙයි. කොටින් ම කිව්වොත් මගේ සිතුවිලි හැම එකක්ම අස්සේ රිංගගෙන උන්නේ ඔහු. ඒක මගේ වැරැද්දක් ද ?

මුළු විහාර මහා දෙවි එකම මිනිස් පුළුටක් නැති වෙන තරම් පාලු වෙලා ගියෝතින්..  හැම තැනකම බිම වැටිලා තියෙන ගස් වලින් වැටුණු කොළ මහා හුලගක් ඇවිදින් අවකාශයේ වේගයෙන් පාවෙන්න ගත්තොතින් මටත් පුළුවන් ඇති තරම් කෑ ගහලා අඩන්න. ලතා මණ්ඩපය ගාව බිම වැටිලා ඉකි ගගහා අඩන්න. ඇයි මගේ හිතට අයිති නැති සිතුවිල්ලක් වෙලා ඇවිල්ලා මාව මෙච්චර අසරණ කලේ ඇයි කියලා මුළු ලෝකෙටම ඇහෙන්න ඔහුගෙන් අහන්න.. මගේ කඳුළු සමහර වෙලාවට ඒ තද හුළගේ ගිහින් ඔහුගේ ෂර්ට් කොලර් වලින් අදිවී. ඇයි ඔයා රධ්‍යාට එහෙම කරන්නේ කියලා මන් වෙනුවෙන් සුළග  ඔහු එක්ක ගැටෙවී.

සමහර වෙලාවට මහා වැස්සකුත් කළු වලාකුළු එක්ක ඇවිදින් අඩන්න එපා රධ්‍යා කියලා මාව තුරුලට ගනීවි. මන් එක්කම ඉකි ගගහා අඩාවී. ඒත් වැහි වතුර දුවගෙන ආවත් කවදාවත් එහෙම කියන්නවත් ඔහු එවි ද ??

අඩන්න එපා රධ්‍යා කියන්න විතරක් නෙවෙයි මට සමාවෙන්න කියන්නවත් ඔහුට පුළුවන් වෙන එකක් නැහැ කවදාවත් ම.. ඉතින් ඔහු එන එකකුත් නැහැ.

ඉතින් ඇයි මේ තරම් වේදනාවක් ? කවදාහරි රධ්‍යා ඇත්ත තේරුම් ගනීවි, ලතා මඩුලු හෙමිහිට තමන් අතරම රහස් කියාගනිවී.. තමන්ගේ දෙපා මුල වැටි අඩන රධ්‍යා දිහාවේ අනුකම්පාවෙන් බලාවි.

මගේ හීන ලෝක අස්සේ ඔය වගේ දේවල් ඕනා තරම් සැරිසැරුවා. සමහරු කියනවා වගේ මගේ හැම සිතුවිල්ලකින් ම හැම අකුරකින්ම එලියට ආවේ මගේ ජීවිතය. මගේ අකුරු අස්සේන් මන් ලියන දේවල් අස්සේන් තමන් ව හොයපු මිනිස්සු ඕනේ තරම් උන්නා.  හැබැයි ඒ කවුරුත් මට දුවිල්ල්ලකට වටින්නේ නැති උනත් සමහර වෙලාවට ඔහුට මගේ අකුරු අස්සෙන් මේ ඉන්නේ තමන් මයි නේද කියලවත් හොයා ගන්නවත් බැරි උනා.

ඒක මගේ වැරද්දක් ද ?

කෙලින් කියා ගන්න බැරි දේවල් සමහර ලස්සන වචන වලින් ඇස් වලට පෙන්න ලියලා තියෙන්න මන් ආසයි. නමුත් මම එහෙම ලියන දේවල් කියවන්න තියා තේරුම් ගන්නවත් ඔහු ආසයි ද මන් දන්නේ නැහැ..

හැම දෙයක් ම මම දන්නේ නැහැ කියන්න, කියන්න කවුරු හරි මගෙන් අහන්නත් ඉඩ තියෙනවා ඔයා මොනවද දන්නේ රධ්‍යා කියලා.

එතකොට දවසක මම මෙහෙම කියාවි.

“ එයා මට ආදරේ කරා කියලා මම දන්නවා.. ඒ  ආදරේ එයාට විහිළුවක් උනත් ඒ විහිළුව ඇතුලේ එයා ගොඩක් ආදරණිය කෙනෙක් උනා කියලා මම දන්නවා. සමහර තැන් වලදී එයා මට ආපහු හැරෙන්න බැරි වෙන්න අතින් ඇදලා ඒ තැන් වල හිර කරා කියලා මම දන්නවා. ආදරේ කරමු කිව්වේ එයායි.. හේතුවක් නොකියම හෙමි හෙමින් නොකියාම ගියෙත් එයායි. ඉතින්  සරච්චන්ද්‍ර ලියපු විදියට මනමේ කුමාරි කවදාවත් චපල උනෙ නැහැ මන් දන්නවා. දෙවොන්දරා වගේ ගල් හිතකට වන්දනා මාන කරන්න තරම් නොරිකෝ ආදරෙන් උමතු උනෙත් ඇයි කියලා මම දන්නවා.. ඒ විතරක් නෙවෙයි සිංහයා කොයි තරම් නපුරු විශ්වාස කරන්න බැරි සතෙක් උනත් රජ සැපසම්පත් අත හැරලා සුප්පා දේවි සිංහයා එක්ක ගියේ ඇයි කියලාත් මම දන්නවා..  ඒ මදි ද ? “

ඒත් මන් එහෙම කියද්දී මට තියෙන එකම බය ඔහු ඇවිත් මෙහෙම කියාවි කියලා.

“ මනමේ කුමාරයාට ආදරේ හින්දා මැරෙන්න උනා.. මනමේ කුමාරයා මැරුවා කියලා වැදී රජාට මොනවා ද ලැබුනේ.. දෙවොන්දරාට නොරිකෝ හම්බුනා කියලා බැදීම් ගැන තව තවත් කලකිරුණා මිසක් දෙවොන්දරා කියන්නේ සතුටින් උන්නු මිනිහෙක් නෙවෙයි රධ්‍යා. ඒ විතරක් නෙවෙයි ඔයාගේ ඔය කියන සිංහයාව මැරුවෙත් ඔය කියන සුප්පා දේවි එක්ක සිංහයා හදපු පුතා ම නේද.. එතකොට සුප්පා දේවි කොහෙද උන්නේ ? ඇත්ත කතාව ආදරේ කියන්නේ බොරුවක්.. ආදරේ කියන්නේ ලයිෆ් එක සක්සස් කරගන්න කරන බිස්නස් එකේ පාර්ට් ටයිම් ජොබ් එකක් විතරයි.. ඔයා අන්ධ වෙලා.. “

ඔහු එහෙම කිව්වොත් මම මෙහෙම කියනවා අන්තිම පාරට.. සිය පාරක් හරි අන්තිම පාර කියලා මම මෙහෙම කියනවා.

“ ඔව් මම අන්ධ වෙලා , ඒ ඔයාගේ ආදරෙන්..  ඉතින් මන් අන්ධ උන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. ඔයා ඒ ගැන ප්‍රශ්නයක් කර ගන්නත් එපා ඉතින්.. “


අරුණි කළුපහන

1 comment: