Wednesday, November 14, 2018

එහෙට තාම වැහි සීතල ඇති

එහෙට තාම වැහි සීතල ඇති
කදු නිම්න වැහෙන්න මීදුමත් ඇති
තේ දල්ලක් ගානේ මතක් වෙනවා ඇති
ඒත් ඒ අහස පාළුවෙන්ම වෙන්න ඇති

පාන්දර ජාමේ හීතලේ පෙම්මලක්
දුරකථනයෙන් කෙදුරුව හැටි
කොළ තුවාල වුණු ගහක් ගානේ
තාම ඔහේ මතක් කරනවාත් ඇති

නෙක මිතුරු කවට කතා මැද
හිත ලැජ්ජාවෙන් බිම බලන්නත් ඇති
ඒත් හුස්මක් ගානේ වු ආදරයක්
හෙමිහිට කම්මුල් රතු කරන්නත් ඇති

කන්දේ පන්සලේ පිරිත් හඩ අස්සේ
ලක්ෂ්මී කෝවිලේ දුම්සුවද අස්සේ
ඔබ එක්ක ප්‍රේම වන්දනාවේ යන්න
නොදැනිම හීනෙක ඉන්නත් ඇති

ඒත් පරණ කතා හුස්ම ගද්දි
අළුත් කතා නොලිය යුතු වග
මටම අමතකව යන්නත් ඇති
ඒ නිසා තාම හිතක් මෙහෙම
දැවෙනවාත් ඇති !!

අරුණි


Monday, November 12, 2018

ආදරේ කියන්නේ හිස්තැන් පුරවන එකට


ජනෙල් පඩිය උඩ ඉදගෙන ඈත පාරවල් වල යනෙන වාහන දිහාවේ ඔහේ බලාගෙන හිටපු සාරා හුන් තැනින් නැගිට්ටේ තවත් බෝහෝ වෙලාවකට පස්සේ.  තට්ටු නිවාසයේ අහසට සමීප තට්ටුවක ඉදන් මේ විදියට පහල යන පුංචි වාහන දිහාවේ බලාගෙන කාලය ගත කරන එක නම් ඉස්සර සාරාට දැනුනේ ස්වර්ගයේ ඉදන් මහා පොලවේ මිනිසුන් දිහාවේ බලාගෙන ඉන්න දෙව්දුවක් වගේ හැගීමක්. නමුත් ඒ හැගීම තව දුරටත් වලංගු වුනේ නැහැ. දැන් දැන් හැම දෙයක් ගැනම සාරාට තිබුනේ කලකිරීමක්. ජිවත් වෙනවාට ජිවත් උනා මිසක් මොනවා කරන්න ද මොනවා හිතන්න ද කියලවත් සාරා දැනගෙන හිටියේ නැහැ.

සාරා ලේඛිකාවක්. නාගරික සමාජය තුල රටක් තුල නමක් දිනු තරුණ ලේඛිකාවක්. නමුත් දැන් ඒ හැම දෙයක්ම අවසන් වෙන්න යන්නේ කියලා සාරා දන්නවා. ලේඛිකාවකට වටිනාම දේ තමන්ගේ අත් සහ ඇස්. නමුත් එයින් එකක් අහිමි උනොතින් කුමක් කරන්න ද ?

සාරාට තේරෙන්නේ නැත්තේ එතැන.

පුංචිම දවස් වල ඉදන් කණ්නාඩි දෙකක් පැළඳ සිටියට මෑතක ඉදන් කණ්නාඩි නැතිව තමන්ට කිසිවක් කර ගත නොහැකි වගක් සාරාට දැනෙන්නට වෙලා තිබුනා. ඒ නොපෙනන ගතිය දවසින් දවස වැඩි උනා මිසක් අඩු වීමක් තිබුනේ නැහැ. ඒක අමුත්තක් වුනත් සාරා ඒ ගැන වැඩිය හිතුවේ නැහැ. හැබැයි වෛද්‍ය වාර්තා ඒ හැම දෙයක්ම වෙනස් කරා. දවසින් දවස අහිමි වෙන දෑසේ පෙනීම ගැන ඒ වෛද්‍ය වාර්තා ලියලා තිබුනා.

සම්පුර්ණ අන්ධභාවයක්. ??

ආයේ ආයේත් ඒ වචන කියෙව්වාට සාරාට ඒ වචන වල හැගීමක් දැනුනේ නැහැ. එහෙම වෙන්නේ කොහොමද ? ඊලගට වෙන්නේ මොකක් ද ? මන් ලියන්නේ කොහොමද ? ආස කරන පොත් කියන්නේ කොහොමද ? ආදරේ කරන අයගේ මුණ දකින්නේ කොහොමද ? සාරාට ප්‍රශ්න ගොඩක් තිබුනා.
හැමෝම සාරා දිහාවේ අනුකම්පාවෙන් බැලුවේ ජිවිතේ එතනින් ඉවරයි කියන්න. හැමෝම දැක්කේ ඒවා උත්තර නැති ප්‍රශ්න විදියට. ඒත් ඒ හැම ප්‍රශ්නේකට උත්තර තිබුනේ එක් කෙනෙක් ගාව තිබුනා. සාරාගේ දීර්ඝ කාලින පෙම්වතා. නාදිත.  නමුත් මුල් කලේ සුරංගනා ලෝක මවන පෙම්වතුන් අවසානය වෙද්දී නැති වෙන වග සාරා නොදැන හිටියා නෙවෙයි. ඒ නිසාම නාදිතව හව්හරණක් කරගෙන ජිවිතය දකින්න සාරාට ඕනි උනේ නැහැ. සාරාට ඕනි වුනේ ඇය දිහාවේ අනුකම්පාවෙන් බලපු හැම කෙනෙක්ම ජිවිතෙන් අයින් කරලා දාන්න. එහෙම අනුකම්පාවෙන් නොබලපු නාදිතගෙන් උනත් ලොකු දුරකට යන්න. අන්ධ ගැහැනියක් වෙලා පිරිමියෙකුට සෙවනැල්ලක් වෙන්න බැහැ සාරාට එහෙම හිතුන වෙලාවල් ගොඩක් තිබුනා. ඒ නිසාම නාදිතගේ ජිවිතේට ඇලිලා ඉදලා ඒ ජිවිතේ අවුල් ජාලාවක් කරන්න සාරාට ඕනේ උනේ නැහැ.

ඒත් ලේඛිකාවක් කියන වෘත්තිමයභාවය ජිවිතේට අහිමි වෙද්දී ඇස් වලට පෙනුන ලෝකය දුරස් වෙද්දී තනිකර කලුවරක තනි වෙද්දී සාරාව දාලා යන්න නාදිතට ඕනි උනේ නැහැ. ඒ වෙනුවට නාදිත ඒ හැම දේකටම අලුත් පිලියමක් හෙව්වා. ලියන්න බැරි නම් රෙකෝඩ් කරමු. එහෙම කිව්වේ ඔහු. ඇය රෙකෝඩ් කරලා තියෙන වචන ටයිප් කරන්න එක මහා දෙයක් නෙවෙයි.  ඔහු හිතුවේ එහෙම. ඇස් තියෙන මිනිසුන් නොදකින ඔවුන්ට නොදැනෙන සංවේදී ලෝකයක් ඇය ඉස්සරහා තියෙනවා කියලා ඉගැන්නුවේ නාදිත. ස්පර්ශයෙන් සුවදින් ශබ්දයෙන් හැමදේම දකින්න ඇයට හුරු වෙන්න උනා. ජිවිතයේ එපා කියලා අඩනවාට වැඩිය ජිවිතේ නොදැකපු පැත්තක් ස්පර්ශ කරමු කියලා සාරාට කිව්වේ නාදිත.  නැති උන පෙනීම ගැන දුකක් තිබුනත් ඒ විදියට සංවේදී දැනීමකින් ලෝකේ දකින එකෙන් සතුටක් තියෙනවා කියලා සාරා ඉගෙන ගත්තා. නාදිත සාරාට ඇහෙන්න පොත් කියෙව්වා. ලෝකේ එදිනෙදා වෙන දේවල් විස්තර කරා. ඒ විතරක් නෙවෙයි සාරාගේ සෙවනැල්ල වුනෙත් නාදිත.

හැබැයි ඒ නාදිත. හැමෝගෙම ජිවිත වල නාදිත කෙනෙක් නොහිටින්න පුළුවන්. හැබැයි ඒ වගේම කෙනෙක් අනිවාර්යෙන් හමුවෙන්න පුළුවන්. මොකද පෙම්වතෙක් කියන්නේ ජිවිතේට එක දෙයක් වුනාට අපි හැමෝගෙම ජිවිත වල අපි ඉපදෙද්දීම තීරණය වුනු රැකවල් දේවදුතයෙක් ඉන්නවා. එයා කොයි වෙලේ කොයි විදියට අපිව හොයාගෙන එයි ද කියලා කවුද දන්නේ. ජිවිතේ තියෙන්නේ පුංචි ප්‍රශ්න ප්‍රශ්න වලදී අත හැරලා දාන්න නෙවෙයි. එක පාරක් ඉවර වෙන්නේ අලුත් පාරක් තනන්න හැගීමක් හිතට දෙන ගමන්. ඒ අලුත් පාර හොයා ගෙන කපලා සුද්ද කරලා අලුතින් තනන එක අපේ වගකීමක්. මුල් කාලේ ගොඩක් දුෂ්කර වෙයි. හැබැයි දුෂ්කර කාලේ අවසානයේ දී අපිට තියෙන්නේ ඒ පාරේ ලස්සනට ඇවිද ගෙන යන්න. ඒත් ඉතින් ඒ පාරත් ආයේ කැඩිලා බිදිලා දුෂ්කර පාරක් වෙන එකක් නැහැ කියලා කාට ද කියන්න පුළුවන්. එහෙම වුනොත් අපිට පුළුවන් නේ කලින් අත්දැකීම් එකතු කරගෙන ආයෙත් අලුතින් පාර හදන්න. ඒකට තමයි ජිවිතේ කියන්නේ. ඒකට තමයි ආදරේ කියන්නේ. ආදරේ කියන්නේ සම්පුර්ණ ආත්මාර්ථකාමී හැගීමක් නෙවෙයි. ඒක මුළු ලෝකෙටම විහිදුනු හැගීමක්. ආදරේට පුළුවන් ලෝකයක් වෙනස් කරන්න. ලෝකය වගේම ජිවිතයේ ආරම්භ සටහන් කරන්නේ ආදරයෙන්.  දුෂ්කර කාල වලදී අතින් අත නොහැර හයියෙන් අල්ලාගෙන ඉස්සරහට යන එක තමයි ආදරේ කියන්නේ. එක්කෙනෙක් දුකින් වැටෙන කොට ආයෙත් එයාව සතුටින් නැගිට්ටවන එක තමයි ආදරේ කියන්නේ. කිසිවක් බලාපොරොත්තු නොවී අනිත් කෙනා කෙනා වෙනුවෙන් කැප වෙන එක තමයි ආදරේ කියන්නේ. මුළු ලෝකයක්ම අහිමි උනත් තමන්ගේ අය වෙනුවෙන් නවතින එක තමයි ආදරේ කියන්නේ. ආදරේ කවදාවත් දුෂ්කර කාල වලදී යුතුකම් මග හැරුනා කියලා දාලා යන්නේ නැහැ. ආදරේ කවදාවත් අඩු පාඩුකම් ලග චෝදනා කරන්නේ නැහැ. ආදරේ කියන්නේ හිස්තැන් පුරන එකට. එක අතකින් වෙන අඩු පාඩු අනිත් අතින් හෙමිහිට පුරවන එකට. ආදරේ කවදාවත් අනන්තයක් දකින්නේ නැහැ. ආදරේ කියන්නේ අන්න ඒකට.

සාරා අවුරුදු කිහිපයකට පස්සේ ලියන එයාගේ අලුත් පොතේ ඒ වගේ සටහනක් තියනවා. සාරා රෙකෝඩ් කරපු පොත නාදිත අකුරු වලට ගේනවා. සාරාගේ නමින් ඒ පොත එලි දකින දවසේදී නාදිත සාරා ලගින්ම හෙලවෙන්නේ නැතිව සතුටින් බලාගෙන හිටියා. හැබැයි ඒ වෙලේ නාදිත දැක්ක හැමෝමට ම හිතුන දෙයක් තිබුනා. ආදරේ ඒ වගේ.. ආදරේ කියන්නේ අන්න ඒකට.





අරුණි කළුපහන

Saturday, November 10, 2018

හිතේ ගැඹුරේ නිදා නොනිදන ප්‍රේමයක්..


මටත් තිබුනා ප්‍රේමයක්
තාම ඉදහිට මතක දළුලන ප්‍රේමයක්
කාලයේ දුර ගෙවා ආ මුත්
හිතේ ගැඹුරේ නිදා නොනිදන
මට තිබුණා ප්‍රේමයක්..

කුළුදුලේ හිත හීන හැඩකල
මතකයේ සිව් කොනම දගකල
නිදි නැතුව රැය ගණන් එළිකල
මටත් තිබුනා ප්‍රේමයක්..
කුළුදුලේ පිපී ප්‍රේමයක්..

හීන් හඩින් වාදනය වෙමින් තිබුණු සින්දු අස්සෙන් චන්දන ලියනාරච්චිගේ ගැඹුරු හඬ දුර කල්පනාවක හිටපු මගේ හිත එකවර අල්ලගත්තා. කල්පනාව තිබුනෙත් බොහොම දුර ඈතක වුනත් හිත රිදුනු තැනක. සෑහෙන පරණ  අමතක කරන්න බැරි මතකයක. රිදුනු මතකය තවත් රිද්දන්න ඒ හඬට පුළුවන් වුනා. කාලෙකට කලින් දවසක තලවකැලේ ඉදන් ආපහු එනකොට ඇහුණු මේ සින්දුවම මාව හොදටම හඬවපු හැටි , පාන්දර තුනට විතර කට්ට කළුවරේ ජනෙල් වීදුරුවට කම්මුල් හේත්තු කරගෙන හොදට හඬා වැටුණු හැටි ඒ පරිසරය ඒ සීතල කටුක හැගීම එකක්ම ආයේ ආයෙත් වින්දනය කරන්න ඒ හඬ ඒ තනු එක්ක මට පුළුවන්.. 

හැමදේටම හේතුවුණු හැමදේම වෙනස් වුනේ මගේ එක වචන පේළියකින්. පොඩි හිත් රිදුමකටත් හඬා වැටෙන්නට තරම් මන් ඒ දවස් වල ගොඩක් අහිංසකව හිටියා. එදාත් හිත අස්සේ පෙරළි කරපු වචන ගොඩක් කියාගන්න විදියක් නැතිව ඇස් වලින් කතා කරා. 

" අම්මේ මං චේතියට ආදරෙයි.. අම්මට බැරි ද ඒකට කැමති වෙන්න.. " 

අසුරු සැණින් ලෝකය වෙනස් වෙනවා නම් එදා එතැන තමා ටර්නින් පොයින්ට් එක. 

" බෞද්ධ මිනිහෙක්ව කසාද බදින්න ? මිනිස්සු නැතිවට ? උඹට පිස්සු ද දරුවෝ ? ඊටත් වඩා අච්චර දුර ඉන්න මිනිහෙක්.. අනික සංකල්පට වැඩිය හොද මිනිහෙක් ? විකාර.. " 

කතාව එතනින් ඉවරයි.. රූකඩයක් වගේ එක තැනක එක දිශාවක් දිහාවේ මං බලාගෙන ඉද්දි ලෝකය වේගයෙන් කැරකුනා. අන්තිමට මං රෙජිස්ටාර් ඉස්සරහ. විවාහ සහතිකේ අත්සන් කරද්දී පැන අල්ලගන්න බැරිව  අත වෙවුලුවේ චකිතයට නෙවෙයි. ඔහු මතක් වෙලා දුකට. විවාහ පොරොන්දු දෙද්දී අම්මා දිහාවේ ම හැරී හැරී බැලුවේ තීරණය දැන්වත් වෙනස් කරගන්න පුළුවන් වෙයි ද කියලවත් ඒ මුණෙන් කියවගන්න.. කිසිම දෙයක් වෙනස් වුනේ නැහැ කාලය ගෙවුණා විතරයි. 

" මං බයේ හිටියේ මනමාලි මේ දැන් කසාදෙ නවත්තලා දුවයි ද කියලා.. ඒ තරම් මේ දරුවා වෙවුලුවා. "
විවාහයෙන් අනතුරුව රෙජිස්ටාර් තැන කියද්දී අඩන්න බැරි තැන හිනාවුණා.

" උඹ ඒ මනුස්සයාට ආදරේ කරන්නේ නැහැ නංගි.. මං ඒක දන්නවා. ඒ උඹේ මිනිහා.. ඒ ගරුත්වයවත් ඒ මනුස්සයට දීපන්.. " 

අයියා එහෙම කිව්වා. ඒත් මල් පැලයක් වුනත් නිස්සාර පොළවක පැළ කරොත් ආයෙත් මල් පිපෙන්නේ කොහොමද 

මධුසමයට යන හැම දුවෙක් ම අම්මාව බදාගෙන අඩනවා. ඒත් මට එහෙම කරන්න ඕනි වුනේ නැහැ. ඒත් ජිවිතේ එච්චර කල් නොතිබුණු අමුතු හයියක් මට දැනුනා. අහිංසකකම පෑල දොරින් පැනලා ගියා කියලා දැනුනා. 

" අම්මේ, අපි නුවරඑළියට ගියාම සීතා අම්මාන් යනවාලු.. අම්මා දන්නවා ද මං සිතා අම්මාන් යන්න හීන දැක්කේ චේතිය එක්ක. ඒත් අද මං අම්මට ඕනි කෙනා එක්ක සීතා අම්මාන් යනවා.. ආදරේ නොකරන, සීතා මෑණියන්ව විශ්වාස නොකරන කෙනෙක් එක්ක, ඒත් ආදරේට ආශිර්වාද ඉල්ලගන්න.. මගේ හැම කවියක් ම මට හිනා වෙනවා අම්මේ.. මං හරි ම පව් කියලා අම්මට දවසක හිතෙයි..  හැබැයි එදාට අම්මත් පරක්කු වැඩියි.. " 

ඇඩුවේ නැහැ.. ඒත් හිතක් නැහැ වගේ එහෙම කියද්දී අම්මා නිරුත්තර වෙලා මං දිහාවේ බලා හිටියා. සීතා අම්මාන් කෝවිලේ පිටිපස්සෙන් වේගෙන් ගලාගෙන යන ඇල පාර දිහාවේ බලාගෙන මං ඇඩුවා. නොසෑහෙන්න ඇඩුවා.

" මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.. "

" අමා, උඹ මගේ කසාද ගෑනි.. " 

" කොළ කෑල්ලකට විතරයි.. " 

කසාද ජිවිතේ දෙදරන්න පැය විසි හතරක්වත් ගියේ නැහැ. ආයෙත් අම්මාටයි මටයි ගැටෙන්න හේතුවක් තිබුණා.

" මං ආදරේ නොකරන මිනිහෙක් මගේ ඇගට අතක් තියෙනවාට මං කැමති නැහැ.. "

" ඒ උඹේ කසාද මිනිහා.. " 

" ඒ අම්මා මාව ඒ මිනිහාට බන්දපු නිසා.. අම්මා කිව්ව දේ මං කරා.. දැන්වත් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියන්න.. "
ජිවිතේ  එතැනින් එහාට ගලාගෙන ගියා. කවදාවත් බියර් කෑන් එකක් අතින් ඇල්ලුවේ නැති මම, බියර් බොනවා කියලා ඉස්සර චේතිය එක්ක රණ්ඩු කරපු මම, ආපහු එනකම් ම බියර් කෑන් එකින් එකට හිස්  කරලා දැම්ම හැටියට සංකල්පටත් මාව එපා වෙලා ම යන්න ඇති. 

එතැනින් පටන් ගත්තු පවුල් ජිවිතේ අස්සේ රණ්ඩු සරුවල් හිත් රිදුම් ලෝකෙට පෙන්න මවා පෑම් සෑහෙන්න තිබුණා. ඒ වගේම ලෝකේට පෙන්න හිනාවෙලා ආදරෙන් බදාගෙන ගත්තු රාමු කරපු පින්තුර සෑහෙන්න බිත්තියේ එල්ලුණා. රහසේ ගලා ගිය මතකයක කඳුළු අනන්තවත් තිබුණා.

" අමා තමුසේ මහා හිතක් පපුවක් නැති ගෑණියෙක්.. මනුස්සකමක් ගෑවිලාත් නැහැ.. තමුසේ සංකල්පගේ ජිවිතේ විනාස කරනවා.. තමුසේ වගේ නපුරු ගෑණියෙක් මගේ ජිවිතේට මං දැක්කේ නැහැ.. " 

මගේ සැමියාගේ පෙම්වතියක් එහෙම කියද්දීත් මගේ මුණේ තියෙන්න ඇත්තේ සමච්චල් හිනාවක් විතරක් ම වෙන්න ඇති.. ජිවිතේ හැටි එහෙමයි කියලා හිත හදා ගන්න තරම් අවුරුදු විසි දෙකක ජිවිතේට මං ජිවිතේ ප්‍රගුණ කරලා තිබුනේ නැහැ. ඒත් කාත් කවුරුත් නැති බිත්ති හතරක් අස්සේ කාටවත් නොකියා ජිවිතේ විද දරා ගන්න මට පුළුවන් වුනා.

මට මතක් වුනේ මංජුල වෙඩිවර්ධනගේ කවියක්. ඇහැල ඇමතුමකට ඇහැරෙමි පොතේ තිබුන ඒ පද හතර මගේ හිත කොයිතරම් අල්ලගත්තා ද කිව්වොත් නිතර භාවිතා වෙන පොතක මුල් පිටුවේ තවමත් ඒ කවියේ පේන්න තියෙනවා. 

" දුමක් මිස හිත නිවා සනහන 
පෙමක් නැත හිත ගාව හිනැහෙන 
දුකක් බව දැනෙන විට කවිය ද 
කොතෙක් නම් රිදෙන්න ද හදවත.. " 

වෙඩිවර්ධන දන්නවා නම් ඒ වචනයක් ගානේ මගේ ජිවිතේට කොයි තරම් සමීප ද කියලා.. මට මොහොතකට හිතුණා.
ටැටූ, තමන්ගේ සිරුර වේදනාවකට ලක් කරලා රිද්දවා ගැනීම.. මගේ පලමු තෝරා ගැනීම තිබුණේ එතැන. හැම ටැටූ එකක් පිටිපස්සේ ම දරා ගන්න බැරි වේදනාවක සුවපත් කිරීමක් තිබුණා. ගැහැණු පිටක් දිගේ විහිදුනු ඒ ටැටූ රටා දකිද්දී සංකල්ප කෝපයෙන් වෙවුලුවා. ඊලග තෝරාගැනීම අස්සක් මුල්ලක් ගානේ ඇවිදින්න යන එක. ඒත් අත්තටු කපලා ඉක්මනින්ම ආයෙත් ගේ ඇතුලට හිර කරන්න සංකල්පට පුළුවන් වුණා.

ජිවිතේ නිස්සාර හැගීම් වලට බියර් කෑන් පිටින් හිස් කරලා මට ලබාගන්න දෙයක් තිබුනේ නැහැ. ඒත් රත්නපුරේට කිට්ටු තැනක පාර අයිනේ නතර වෙලා සීතල විදින ගමන් නයිට් කඩේකින් කෝපි එකක් අරගෙන බොන්න, ඒ ගමන් කාරෙකේ දොර ඇරගෙන ඉදන් සිගරට් එකක් බොන්න මට පුළුවන් වුනා.
සංකල්පත් කාගේ හරි තුරුලක සැනසෙනවා ඇති. එහෙමත් නැත්තම් කොහේ හරි මධු විතක සැනහෙනවා ඇති. මට අමුතුවෙන් හිතන්න ඕනි වුනේ නැහැ. ඒ ඒක එහෙම වුන නිසා.

සිගරට් දුම අස්සේ හුස්ම හිර වෙද්දී ඇස් වලට කඳුළු පිරෙද්දී අමාරුවෙන් ඊලඟ සිගරට් උගුර අරගන්න මං උත්සාහ කරා. අප්පච්චිගේ නිර්මාංශ, අහිංසක, සන්සුන් දෝණි අගාධයට යන හැටි අප්පච්චි දැක්කේ නැතිවට අප්පච්චිට දැනෙන්න ඇති. ඒ නිසාම " ඌ මිනිහෙක් නෙවෙයි.. පිස්සෙක්.. ඔයා ගෙදර එන්න පුතේ.. " කියලා අප්පච්චි කෙටි පණිවිඩ එවන්න ඇති. ඒත් දුකම අස්සේ ගිලිලා මැරෙන්න මිසක් ආපහු හැරිලා මොනවා කරන්න ද මට අනන්තවත් හිතුණා.
" මං චේතියට කතා කරා.. " 

කියාරා මගේ ගමන් සගයා වගේ ජිවිතේට හිටපු එකම යාලුවා දවසක් එහෙම කිව්වා. කවදාවත් අහන්න බලාපොරොත්තු නොවුණු ඒ වචන පේළියෙන් මට කෝපයකුත් කුතුහලයකුත් දැනුනා.

" ඇයි ? "

" උඹ දුක්විදිනවා බලන්න බැරි නිසා.. " 

" ඒකට චේතිය මොනවා කරන්න ද ? " 

" උඹ ආදරේ කරේ චේතියට. ඒකයි මන් ඌට කතා කරේ. හැබැයි උඹ ඌට ආයෙත් ආදරේ නොකරාට කමක් නැහැ. " 

" ඇයි ? " 

" උන් ඔක්කොම අවස්ථාවාදී පිරිමි.. ගෑනුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන නරුමයෝ.. " 

" ඇයි චේතිය උඹට මොකද කරේ ? " 

" අමාට ජිචිතේ දුකක් කර ගන්න තරම් මං බලාපොරොත්තු දුන්නේ නැහැ කිව්වා.. " 

" චේතිය එහෙම කිව්වා ? "  

කියාරා ගාව තිබුණු වොයිස් රෙකෝඩින් එක සාක්ෂි සැපයුවත් ඒ චේතියගේ හඬ කියන එක මට ඒ වෙලාවේ කම්පනයක් වුණා. චේතියගේ ආදරේ මං ඒ කාලේ ආගමක් වගේ ඇදහුවා. ඒ ආදරේ ඒ හැගීම් වලට මං ඇබ්බැහි වුනා. අර සින්දුවේ කියනවා වගේ.. චේතිය නිසා මට මාවම නැති වුණා. ආයෙත් කිසිම මිනිහෙක්ට දෙන්න තරම් ආදරයක් ඉතුරු නොවෙන තරමට මං ආදරේ කරා. ඒත් චේතිය එහෙම කිව්වා. මොනවා කරන්න ද ? දවසක් හරි ආදරේ කරපු මිනිහාට මාත් නරුමයෙක් අවස්ථාවාදියෙක් කියන්න ද ? චේතියගේ ආදරේ දැනුණේ මට. ඒ වචන අස්සේ කොයි තරම් ආදරයක් තිබුනා ද දන්නේ මම. ඒ ආදරේ අස්සේ කොයි තරම් රැක බලාගැනිල්ලක් තිබුන ද දන්නේ මම. චේතියට ආදරේ කරපු එක මෝඩකමක් වෙන්න ඇති. ඒත් එක දවසක් හරි මං ඒ ආදරේ ඇතුලේ ජිවත් වුනා. ඒ මතකේට පින් දෙනවා මිසක්. සාප කරන්න මට පුළුවන් වුනේ නැහැ. 

" උඹ චේතියට කතා කරපු එක වැරදි.. "

කියාරාට එහෙම කියලා මං නිහඩ වුණා. ඒත් එතැනින් පස්සේ ගෙවන හැම මිනිත්තුවක් ම ඒ වචන මට පිහි පාරකටත් වැඩියෙන් රිදුම් දුන්නා. " බලාපොරොත්තු ?? එයා බලාපොරොත්තු වලට දෙන නිර්වචනය මොකක් ද ? කැම්පස් එකේ උගන්නන අප්පච්චි එනකම් ඕපන් එකේ ඉදගෙන මං පැය ගණන් හිතන්න ඇති.

" මං නිව්සිලන්ඩ් යන්න තීරණය කරා.. ඔයා මා එක්ක යන්න එනවා නම් කියන්න.. "

" කොච්චර කාලෙකට ද ? " 

" සෑහෙන කාලෙකට.. " 

" මං එන්නේ නැහැ ඔයා යන්න.. "

ගෙවුණු ජිවිතේ තවත් එක දවසක සංකල්පගේ තිරණයකට මං එහෙම කිව්වා. ඒ එක්කම මට ප්‍රශ්නයක් තිබුණා.

" කසාදෙට මොකද වෙන්නේ ? " 

" මොනා වෙන්න ද ඒක එහෙම තිබුනාවේ.. " 

" කිසිම තේරුමක් නැතිව ? " 

" ඇයි දික්කසාද වෙලා උඹ වෙන මිනිහෙක්ව බදින්න ද ? " 

" ඔයාටත් ආදරේ කරන අය ඉන්නවා. මං ආදරේ කරාම මොකද වෙන්නේ.. ? " 

" මැරුම්කන්න තමා එහෙනම්.. " 

" කාගෙන් ද ? "

" මගෙන් මගෙන්.. උඹ වෙන මිනිහෙක් එක්ක සම්බන්ධකමක් තියෙනවා කියලා ආරංචි වුනොත් කතා කරන්න එපා අමා මං කාගේවත් අහා අහා ඉන්නේ නැහැ උඹලා දෙන්නවම මරනවා. " 

සංකල්පට තිබුනේ මං ගැන ලෝභකමක් නෙවෙයි තව පිරිමියෙක්ට පරදින්න බැරි කමක්. ජිවිතේ ගෙවුණු බොහෝ පරිච්ජේද වගේ ඒ පරිච්ජෙදයත් එහෙම ගෙවිලා ගියා. සංකල්පට බයේ ආදරේ නොකර ඉන්න මට ඕනි වුනේ නැහැ. ඒත් ආයේ කාටවත් දෙන්න ආදරයක් මගේ ළඟ තිබුනේ නැහැ. චේතියව අහම්බෙන් මග තොටේ දී දැක්කත් අහක බලාගෙන එන්න මං පුරුදු වුණා. චේතිය මාව දැක්ක ද කියලවත් හිතන්න මට ඕනි වුනේ නැහැ. ඒත් 154 බස් උවමනාවෙන්ම මග ඇරලා දැම්මේ ආයේ ආයේ දකින්න උවමනාවක් නොතිබ්බ නිසා. බලාපොරොත්තු කියන වචනේ මගේ හිතේ ගලක් වගේ රැදිලා තිබුණා කියන එක විතරක් මං මතක තියාගත්තේ මගේ හොදට.

ඉස්සර පුරුද්දට ගිහින් චේතියයි මායි අයිස් කොෆි බීපු බොරැල්ලේ අවන්හලට වෙලා මතකය රිද්දගන්න එක මට හුරුපුරුදු දෙයක් වුණා.  එහෙමත් දවසක එතනින් අල්ලපු වැටේ තිබුණු වීඅයිපී බාර් එකේ  හුරුපුරුදු මේසෙකට වෙලා බියර් එකක් බොන්නත් මට හයියක් තිබුණා. ඉස්සර චේතිය බියර් බොනකම් මන් කරේ කම්මුලකට අත තියාගෙන ඒ මුණ දිහාවේ බලාගෙන කියෝන එක. ඒත් චේතිය නැතිව යාබද අසුන හිස් ව තියෙද්දිත් තනියම බොන්න කෙල්ලෙක් විදියට මට පුළුවන් වුණා. 

සරසවියකට ගිහින් කියවන්න පොතක් අරන් එන්නත් තනිකමක් දැනුනු මොහොතක චිත්‍ර ප්‍රදර්ශන වේදිකා නාට්‍ය අස්සේ කරක් ගහන්නත් කියාරා මං එක්ක හිටියා. ඒත් ජිවිතේ මහා හිස්කමක් තිබුණා කියන එක මට ආයේ ආයෙත් ලියන්න ඕනි වුනේ නැහැ. දුර කල්පනාවකට ගිහින් අමතක කරන්න බැරි මතක එක්ක රැදිලා ආපහු එනවා මිසක් සිගරට් දුමක් අස්සේ හැංගිලා කකියන ඇස් වලට අරුතක් දෙනවා මිසක් ජිවිතයේ වේදනාව වින්දනය කරන්න වෙන විදියක් මං දැනගෙන හිටියේ නැහැ. සල්ලි වලට විතරක් හැමදේම ලියවුනු සංකල්ප කියන ව්‍ය්පාරිකයාගේ බිරිද කියන සමාජ නාම ඉස්සරහා හැමදේකින්ම සුවපත් වෙලා ලෝකෙට පේන්න ජිවත් වෙන්න ආසාවක් මට තිබුනෙත් නැහැ. 

කසාදෙන් මාසයක් ගෙවෙන්නත් කලින් දවසක සංකල්පගේ මල්ලි මට හරි අපුරු කතාවක් කිව්වා. 

" නිකම්ම නිකම් කොළ කෑල්ලක අත්සන් කරා කියලා අයියාගේ හැමදේම ඔයාගේ වෙයි කියලා ද ඔයා හිතං ඉන්නේ කියලා.. " 

එදා මටත් වැඩිය සැහෙන්න බාල ඒ පොඩි එකා මට එහෙම කියද්දී මට හිනා ගියේ ඒ වචන වලට වැඩිය හැම දෙකටම සල්ලි වලින් මිලක් තියන්න යන ඒ මිනිස්සුන්ගේ ජිවිත ගැන. ඒත් අවුරුදු ගානක් පරිස්සම් කරලා අමාරුවෙන් ගොඩ නගා ගත්ත ජිවිතේ, චේතිය වගේ මනුස්සයෙක්ගේ ආදරේ, ඒ හැමදේම අහිමි කරගෙන තමයි මට එයාගේ අයියාට මගේ ජිවිතේ නිස්කාරනේ ලියලා දෙන්න වුනේ කියලා කියා ගන්න බැරි ව මං එදා හිතින් අරගල කරා.  ඒත් ආයෙත් ඒ දවසට යන්න පුළුවන් වුනා නම් සංකල්පට වැඩිය අර පරිස්සමෙන් මාව බලාගත්තු චේතිය ගැන හරි ආඩම්බරෙන් මට කියා දෙන්න තිබුණා. ඒ වගේම මෙහෙමත් කියන්න තිබුණා. 

" ඔයාගේ අයියා මොනවද මල්ලි ආදරේ ගැන දන්නේ.. ඔයාලගේ අයියාගේ සාක්කු අස්සේ වැතිරෙන සල්ලිත් කතා කරොත් කියයි චේතිය වගේ කෙනෙක් ගාව ඉන්න තිබුනා නම් කොයි තරම් සැනසීමක් ද කියලා..  " 

ඒත් ආයෙත් නිස්සාර දේවල් පිටිපස්සේ යන්න මට ඕනි වුනේ නැහැ. සංකල්ප වගේම ආයේ ආවත් චේතිය මගේ ජිවිතේට ඕනිත් නැහැ කියලා මගේ හිත මට කිව්වා. අවස්ථාවාදී මිනිස්සු.. කියාරාගේ වචන හිත අස්සේ අවුරුදු ගානකට පස්සේ ආයෙත් දෝංකාර දුන්නා.

නෙත් සරින් නෙතුවලට ඉඟි කළ
සුසුම් සරකින් පවා රිදවුණ
වෙන්ව යන බව කිසිත් නොසිතුව
මටත් තිබුනා ප්‍රේමයක්
අදත් නොමරුණු ප්‍රේමයක්..

වචනයක් වචනයක් ගානේ අරුතක් දුන්නු තත්පරයක් ගානේ හිත රිද්දපු චන්දන ලියනආරච්චිගේ සිංදුවකට අවුරුදු ගානක් තිස්සේ නොහඩා හිටපු මාව ආයෙත් අඩවන්න පුළුවන් වෙනවා නම් හිතේ රිදුම් දිය කර කර අලුත් කරන්න පුළුවන් වෙනවා නම් ඒක තාමත් නොමැරුණු ප්‍රේමයක් වෙන්න ඇති. සින්දුවේ අවසන් වචන ටිකත් වා තලයට එක් වෙද්දී  ඩන්හිල් එකක් අතේ තියාගෙන්  ලයිටරයක් හොයන ගමන් මට හිතුණා.




- අරුණි කළුපහන - 

Friday, November 9, 2018

තරු දිලුන අහසක් යට

කොළඹ අහස යටින් හිරු අවරට යන්න තවත් හෝරාවක් දෙකක් ඉතිරිව තියෙන්නට ඇති. ඕෂධීගේ 28 වන උපන්දිනය සමරන්නට හැමෝම ටිකෙන් ටික වෙරළ තීරය අසල තිබු අවන්හලට එක් රැස් වුණේ අතීත මිතුදම් හා බැඳි ආදරණීය මතකත් දෝතින් අරගෙන. අවන්හලේ අඳුරු කෙළවරකට වී චේතිය බීර වීදුරුවත් අතැතිව බලාගෙන හිටියේ අමුත්තන් සාදයට පිවිසෙන දොරටුව දිහාවේ. ඒ, ඇය ඒවි යැයි ඔහුගේ හිතේ පුංචිම බලාපොරොත්තුවක් හෝ තිබුණු නිසාවෙන්. එහෙම නෙවෙයි කියලා හිතට බොරු කරන්න චේතියට බැහැ.

අවුරුදු පහකට ඉහත දවසක දී අවසන් වතාවට ඇයව ඇහැ ගැටුණ මොහොත චේතියට තවමත් එලෙසින්ම මතකයි. තමන් ඇස ගැටුණ හැටියේම කඳුළු පිරි දෙනෙතින් ඇය ඉවතට දිව ගිය අයුරුත් ඉන් දින කිහිපයක් ගෙවී ගිය තැන විවාහ වූ ඇය, රට හැර ගිය බවත් චේතියට කීවේ මියුරු. මියුරු ඇතුළු චේතියගේ මිතුරු පිරිසම විවාහයට එක් වුවත් චේතිය එදින පටන් ජීවිතය වැඩි හරියක් ගෙව්වේ ඕනෑකමින් නෙවෙයි. පාළු රාත්‍රීන් ළඟ ඔහුට බොහෝ විට තනි රැක්කේ මධුවිත. හුදකලාව දරා ගත නොහැකිම තැන වන වැදුණු ඔහු පරිසරය හා එක්ව රස්තියාදුවේ ගියේ කැමරාවත් අතැතිව. චේතියගේ කඳුළු, බරැති සුසුම්, පාළුවට ගිය හදවත දරා ගත්තේ ගහකොළ.

"දන්නවද චේතිය, ඔයා හඳ නම් මම තරුවක් වෙනවා අහසේ. ඔයා ඉරක් වුණොත් මං වළාකුළක් වෙලා ඔයා ගාවම ඉන්නවා. කවදාවත් දාලා යන්නේ නැහැ."

"එතකොට මම තරුවක් වුණොත්.. ඔයා මොකද කරන්නේ අමා.. ? "

"ඔයා තරුවක් වුණොත් නේද ? එතකොට මම වල්ගයක් වෙලා ඔයාව වල්ග තරුවක් කරනවා."

තමන් එදින උස් හඬ නගා හිනැහෙන විට දී ඇය ද තමන්ගේ උරහිසට වාරු ව සිනහා වූ අයුරු තවමත් ඔහුට ඇහෙනවා වගේ දැනෙනවා. තමන්ගේ අහසේ හුළඟක් වෙලාවත් රැඳෙන්නට ඇයට නොහැකි වුණේ ඇයි කියලා ඔහු තවමත් හිතනවා.

"මචන්.. "

පසෙකින් සිටි මියුරු චේතියට ඇස්වලින් පෙන්නුවේ ඕෂධී හා එක්ව කතාබහක නියැලෙන ඇයව. එහෙනම් ඇය ඇවිත්. ඒ අමා. පස් අවුරුද්දකට පෙර වචනයක්වත් නොකියා යන්නට ගිය ඇය. චේතියගේ අතේ මත්පැන් වීදුරුවක් දකින හැම මොහොතක ම ඇය ඉස්සර තරහින් රතු වෙනවා. ඒ ආදරේට. ඔහුට ආයෙත් ඇයව පරික්ෂා කරන්න හිතුණා. ඔහු බීර වීදුරුව පසෙකින් තබා අසල තිබු මත්පැන් වීදුරුවක් සුරතට ගත්තා. ආදරේ දී හැමෝම බොළඳයි. ඔහුත් එහෙමයි. ඉස්සර හිටපු අමා චේතියටත් වැඩිය බොළඳයි. ඒත් දැන් ඇය ගැන ඔහු දන්නේ නැහැ. ආදරේ කරපු කෙනෙක්ට වෛර කරන්න ඔහුට බැහැ. නමුත් හිත කීරි ගස්සපු වේදනාව ඔහුට තවම අමතකත් නැහැ.

ඇය ඕෂධීගේ යෙහෙළියක්. දවසක් නාඳුනන ලෙසින්, අහම්බෙන් ඕෂධීත් සමඟින් එන ඇය අන්තිමට චේතිය ගාව නතර වෙන්නේ මුළු හිතම අයිති කරගෙන. එතැන් පටන් වසර දෙකක් තිස්සේ ගෙවී ගිය ආදරයක ආදරණීය මතක කාටවත් තවමත් අමතක නැහැ. වෙනස් වුණේ ඇය විතරයි.

"චේතිය..."

ඕෂධී ඇවිත් පසෙකින් හිඳ ගත්තේ මියුරු ළඟින් ඉද්දීමයි. චේතිය කිසිවක් නොකියා ඇය දිහාවේ බැලුවා.

"අමා ඇවිදින්. දැක්කද..?"

"හ්ම්ම්..."

"කතා කරනවද ?"

"ඕනි නැහැ ඕෂධී...  මොනවා කතා කරන්නද ? "

"මං ඔයාට බල කරනවා කියලා හිතන්න එපා චේතිය. ඒත් ජීවිතේ හදාගන්න ඔයාලා දෙන්නම තවමත් පරක්කු නැහැ. මං දන්නවා ඔයා වගේම අමාත් තවම දෙන්නට දෙන්නා ආදරේ කරනවා. නෑ කියන්න හදන්න එපා චේති... මං ගොඩක් දේවල් දැනගෙන උන්නත් අමා මට කවදාවත් ඒවා ඔයාට කියන්න ඉඩ දුන්නේ නැහැ. අදටත් එයා කැමති නැහැ ඔයා මේවා දැනගන්නවාට. ඒත් අමා ඒ කසාදෙ කරේ අමාගේ අම්මගේ බලකිරීමට. රවින්දට අමා කවදාවත් කැමති වුණේ නැහැ. අමා ආදරේ කරේ ඔයාට. ඒ නිසාම එයා කසාදෙන් මාස තුනක් යද්දී ඩිවෝස් වෙලා වෙනම ජීවත් වුණේ. අවුරුදු හතරකටත් වැඩි තමයි චේතිය. ඒත් එයා ඔයාගේ ජීවිතේ අවුල් කරන්න කැමති නැහැ. ඒකයි එහෙම කරේ. අමා මට හැමදාම කිව්වේ ආදරේ කියන්නේ අයිති කරගැනීම ම නෙවෙයි, ආදරේ කරන අයව සතුටින් තියන එක කියලා. එයාට ඕනි එයා නැතිව හරි ඔයා සතුටින් ජීවිතේ ඉස්සරහට යනවා දකින්න. අමා හිතන්නෙ එහෙම. මටත් මේ හැම දෙයක් ම දැනගෙන සද්ද නැතිව ඉන්න සිද්ධ වුණත් මං දැන් මේ ටික කියන්නේ ඔය දෙන්නගෙම ජීවිතවල සතුට තියෙන්නේ ඔයාලා ගාව කියලා මට නොකියා ඉන්න බැරි නිසයි. ඔයාලා අයිති ඔයාලට. කතා නොකර, අඳුරන්නේ නැහැ වගේ ජීවිතේ ගෙවනවාට වැඩිය වැරදුණේ කොතැනද කියලා හිතලා, එතනින් ආපහු පටන් ගන්න උත්සාහ කරමු. එයා තව ටිකකින් ආපහු යන්න කලින් මං කියනවාට එක පාරක් අමාට කතා කරන්න. ඔයා එක පාරක් කතා කරොත් එයා සිය පාරක් ආපහු ඒවි. "

ඕෂධී තව ගොඩක් දේවල් කිව්වා. චේතියට ඒවාත් ඇහුණා. ඒත් ආදරේ කරේ ජීවිත කාලෙටම මිසක් එක දවසින් දෙකින් අමතක කරන්න නෙවෙයි. අමා ගැන චේතියට තිබුණේ එහෙම ආදරයක්. අමා ඒ ආදරේට බෝසත් ප්‍රේමයක් කියලා නමකුත් ඉස්සර හදලා තිබ්බා. අමා අන්ධ වෙලා, ආබාධිත වෙලා ආවත් ඒ ආදරේ වෙනසක් නොවෙන බව චේතිය දන්නවා. ඒ ආදරේ හැටි. මධුවිත බඳුන පසෙකින් තැබූ චේතිය හෙමිහිට අමා ඉන්න දිහාවට පියවර තැබුවා. චේතිය එන බව දැක දැකත් පුදුමයෙන් බලා උන්නා මිසක් ඇය පැනලා දිව්වෙත් නැහැ.

"ආදරේ කියන්නේ හුස්මවලට පණ පොවලා, ජීවිත උපද්දන එක. අපි ආයෙත් ජීවිතේ නැවතුණු තැනින්ම පටන්ගමු අමා. සුළඟ වගේ එතිලා අපි, අපි ගාවටම වෙලා ඉමු. කාගෙවත් අහසක තරුවක්වත් හඳක්වත් වෙන්න ඕනි නැහැ.  අපි අපිම වෙමු.. "

චේතිය එහෙම කියද්දී ඇයත් මෙහෙම කියයි.

"ආදරේ කියන්නේ අයිති කරගන්න එක නෙවෙයි චේති... ආදරේ කියන්නේ තමන්ව අනෙක් කෙනා වෙනුවෙන් මුළුමනින්ම පුද දෙන එක. හරියට හඳයි හඳේ හා පැටියයි වගේ ඒ පුද දීම අනන්තයක් නොදකින එකට. "

අරුණි කළුපහන

Thursday, August 23, 2018

මරියනෙලා - අහසේ දිලෙන තරුවක කතාව

බෙනිතෝ පෙරේස් ගල්දෝස් විසින් ස්පාඤ්ඤ භාෂාවෙන් රචිත මරිය නෙලා කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කරන්නේ ඉන්ද්‍රානි රත්නසේකර. නෙලා නමින් සිනමා කෘතියක් පැමිණි ඇති බවත් එහි කතා තේමාවත් පුවත්පත් වලින් කියවු දා පටන් එය නැරඹීමට තිබු උනන්දුව මෙතෙකැයි කියන්නට බැහැ.

නමුත් නෙලා පෙන්වන බව කියා දැන්වීම පුවරු වල සදහන් වෙද්දිත් වෙන්නප්පුව රමෝගා සිනමා ශාලාව එය දර්ශණය කිරීම ප්‍රතික්ශේප කරන්නේ අවස්ථා ගණනකදී මිනිසුන් රස්තියාදුකරමින්. දින කිහිපයක්ම සෙනග දහයකට දෙනෙක්ට වැඩී උනොත් පෙන්වනවා යැයි කියු රමෝගා සිනමා ශාලාව සෙනග දහයකට වැඩි දවස්වල ට සිනමාශාලාව වසා දමන්නේ නෙලා සමග මොන ආරෝවකට දැයි නොදනිමි.

දින ගණනක් තිස්සේ සිනමා ශාලාවට දුරකතන ඇමතුම් දීමෙනුත් පෙන්වන තුරු බලා සිටිමත් එපා වූ දිනක KBOOKS මගින් මීට දෙතුන් මසකට පෙර දිනක නෙලා ගෙන්වා ගත්තේ කියවන්නටය. නමුත් තාත්තා එය කියවා අවසන් වනතුරුත් විවේකයක් ලැබෙන තුරුත් බලා හිදින්නට ගොස් නෙලා හා තනිවෙන්න ලැබුනේ අදය. සම්පුර්ණ කෘතියම එක හුස්මට කියවන්නට පැය දෙකක් යන්නට ඇත.

මරියා මනුඑලා තෙයියේස්.. ඇයට නමක් තිබිණි. නමුත් ඇය වෙළදපොළේ ගම්මිරිස් විකුණු කනෙලාගේ දුව " නෙලා පමණක්ම වුවාය. එක් තැනක දහසය හැවිරිදි නෙලා මෙසේ කියයි..

" මගේ අම්මා නම මරිය කනෙලා. ඇයට කිව්වේ නෙලා කියලා.. එය බැල්ලියකගේ නමක්ලු. මගේ නම මරියා, මරිකිනා, මරියා පොඩ්ඩි, මරියනෙලා කියලයි මට කියන්නේ.. කනෙලාගේ දුව. සමහරු නිකම්ම " නෙලා " කියනවා. "

මරිය නෙලා ධනවතෙකුගේ පුත් අන්ධ පබ්ලෝ ට ඇස් දෙක වන්නීය. අහසේ පැහැය, මල් පෙත්තක හැඩය, ඈත නිම්නයක සුන්දරත්වය රැය දහවලක වෙනස තියා මරිය නෙලාගේ ඇස්වත් දැක නැති පබ්ලෝ ජිවිතය සහ ලෝකය ඉගෙන ගන්නේ නෙලාගෙනි. නෙලාට ජීවිතය ගැන ඇත්තේ අපුරුම දැක්මකි.

ඇය ගස් ගල් වලට මුහුණු ඇති බව කියයි. ජල පහරේ නාදය හෙමිහිට කතාකර දොඩමලු වන බව කියයි. අහසේ තරු මියගිය යහපත් ආත්ම ලෙසත් පොළවේ පිපී සුවද දෙන මල් අහසට යා නොහැකිව ඉතුරු ආත්ම ලෙසත් හදුන්වයි. සම්ප්‍රදායික මිත්‍යා විශ්වාස පිළිබද සිතන මරියනෙලා ගමේ කෙල්ලකි. ඒත් පබ්ලෝගේ පීයා පබ්ලෝට ඇසෙන්නට කියවන පොත් තුල ඇත්තේ වෙනස් දැක්මක් ය.

වනවදුල් අස්සේ තණ කටු පදුරු පොඩි වෙන සුවද විදිමින් ඇඹිල්ල ගෙඩි රස විදිමින් සද තරු මල් යට ආදරයෙන් ජීවත් වන නෙලාගෙත් පබ්ලෝගෙත් ජිවිත වෙනස් වන්නේ තෙඔඩෝරෝ ගොල්ෆින්ගේ පැමිණිමත් සමගිනි. ඔහු පබ්ලෝට පෙනීම දෙන වෛද්‍යවරයාය. නෙලා සතුටත් දුකක් සමානව විදින්නේ එතැන් පටන් ය. ඉන් අනතුරුව පැමිණෙන ෆ්ලෝරෙන්තිනාත් බොහෝ දෑ වෙනස් කරයි.

කන්නටවත් පාන් කෑල්ලක් නැති මරියනෙලා තමන්ට ලැබෙන පෙසෙතා ( මුදල් ) සියල්ල සෙලිපින් නම් තමන්ගේ හිතවතාට දෙන්නේ ඔහුගේ අනාගතය සාර්ථක කරගන්නට කියමිනි. මරියනෙලා සල්ලි වලට අකැමතිය. ෆ්ලොරෙන්තිනා දෙන්න සිතු සැප සම්පත් වලට අකැමැතිය. නෙලාගේ ලෝකයම පබ්ලෝය. ඔහුගේ ආදරයය. සිය ආදරයට ආත්මයෙන් ම ආදරය කරන නෙලාට සිය ආත්මය ශරිරයෙන් නිදහස් කර හරින්නට වන්නේද එකී ආදරය නිසාවෙනි.

ආදරය දෙන්නට මිස ආදරය ලබන්නට නොසිතු, ආදරය නිසාවෙන්ම හුස්ම අත් හළ නෙලාගේ සොහොන් කොත් ළග තනි රකින්නට කණමැදිරියන්, රෑ බදුල්ලන් නම් ඕනි තරම් සිටියහ. ඇයගේ ආදරයට තමන්ගේ ආදරය දෙමින් ඔවුන් රංචු පිටින් රැස් වී රැයේ දී සොහොන ආලෝකවත් කළහ.

නමුත් මරිය නෙලා එතැන හිදින්නට විදියක් නැත. ඇය අහසේ තරුවක් ව පබ්ලෝ දෙස තවත් ආදරයෙන් බලා හිදුණු ඇත. " මං කැතැයි කිව්වද " තවමත් තෙඔඩෝරෝගෙන් අසනු ඇත. ෆ්ලෝරෙන්තිනාට වෛර නොකළ බව පුන පුනා කියනු ඇත. බලාපොරොත්තු දුන් නමුත් නොදුන්නා සේ සිටි ආදරයක් වෙනුවෙන් ආලෝකය දෙනු ඇත.

අරුණි කළුපහන

Wednesday, February 14, 2018

නුඹ සුළං රැල්ලක් ව



ජිවිතේ ගැටෙන අනන්ත අප්‍රමාණ වුනු කම්පන මිනිස්සු එක එක විදියට දරා ගන්නවා. සමහරු ඒ කම්පන එක්ක ඔහේ කල්පනා කර කර ජිවිතේට ගලා ගෙන යන්න ඉඩ හැරලා බලාගෙන ඉද්දි තවත් සමහරු ඒ කම්පන එක්ක ජිවිතේ නිර්මාණත්මකව ගොඩ නගනවා. ඒ නිර්මාණාත්මක ගොඩ නැගීම තුල කවි ලියවෙනවා. නවකතාමය සිතුවිලි කියවෙනවා. චිත්‍රපට බිහිවෙනවා. ගී සින්දු ගැයෙනවා. සංගීතය අපුරු ස්වර සොයා යනවා . ඒ තුළ හැම හැගීමක් ම හැම හුස්මක් ම අස්සේ අපුරු හැඩයකින් නිර්මිත කතාවක් රහසේ දරා ගන්නවා

මුතු බෙල්ලෙක් හදවත අස්සේ වැලි කැට එක්ක ඔට්ටු වෙන්නේ ඒ වැලි කැට එහෙට මෙහෙට පෙරලි පෙරලි ආත්මයම හුරල දාන එක ඉවසන ගමන්. ඒ රිදුණු ආත්මයේ වේදනාව වින්දනය කරමින් මුතු බෙල්ලෙක් හුස්ම ගන්නේ අපුරු වටිනා මුතු ඇටයක් ලෝකෙට බිහි කරන්න.

ඒ වගේම වේදනාවන් වින්දනය කරන්නම ඉපදුනු මිනිස්සු විදියට කවියෝ හදුන්වන්න මන් කැමතියි.

තමන්ගේ ජීවිතය ඇතුලේ ගොඩ නැගුණ කම්පන ලියවිල්ලකින් මිනිස්සු අතරට ගේන එක ලේසි පාසු දෙයක් නෙවෙයි. රිදුන රිදෙන රිද්දන හැම මොහොතක්ම කවියකින් ලියනවා කියන්නේ මරණයක් උපදිමත් අතර මොහොතක්. අර කලින් කිව්ව මුතු බෙල්ලා වගේමයි. ඒ වගේම තිඹිරි ගෙයක් මරණයේ හෝරාවත් වින්දනය කරමින් කවියෙකුට හුස්ම ගන්න පුළුවන් නම් ඔහු අපුරු පුද්ගලයෙක්. ඔහුගේ කවි කෑ ගහලා ලෝකෙට ඇහෙන්න කතා කරන්න පුළුවන් හඩකට වැඩිය ප්‍රබලයි. ඒ අකුරු හරියට දහසක් දේ නිහඩව කියන ඇස් දෙකක් වගෙයි.

වැරදිලාවත් අහන්නට බය
ජෝතිගේ සිංදු එක දෙක
ඉද රටක අතපොවා
කලත්තනකොට මතක

ඉකිගගහා හඩනවා මහද
ඉතින් මන් ඇස් පියාගන්නවා

අප්පච්චි නිතරෝම මුමුනන්න පුරුදු වුන
ගියායින් පසුවටත් ගේ පුරා ඇහුණ
හිත යටින් තාම මට ඇහෙනවා
---
යන ගමන නවතලා
අතරමග
බස් රියෙන් බහිනවා

ලියන්නෙම නෑ කියා
හිතින් උන්නත් ආයෙම
හීනි කදුලක් එක්ක
මතක රැල්ලක් දෙකක
තාම හිත් අගිස්සේ වදිනවා


එහෙම ලියුවුණු කවියක මුල සහ අග මන් හොයාගන්නේ “ නුඹ සුළං රැල්ලක් ව “ පිටු අස්සෙන්. රිදුම් ගැටුම් කම්පන ගලායාම් කදුළු හුදකලාව ඒ හැම හැගීමක් ම නුඹ හුළං රැල්ලක් ඇතුලේ කැටයමක් වගේ ඔබ්බවලා තියෙනවා. කතා කරන පින්තාරුවක වගේ අපුරුවට සායම් කරලා තියෙනවා.

මට අයිති නැති වුනොත් දවසක
මන් ගිහින් හිදින්නම්
දුර ඈත තරුවක
හිත රිදුනට මොකද
මන් බලන් ඉන්නම්
ආදරේ කියන්නේ ඒකට


මේ හැම කවියක් ම අයිති නිශාන්තට. නුඹ සුළං රැල්ලක්ව අයිති ඔහුට. නිශාන්ත ෆර්නෑන්ඩු.. කාලයක් තිස්සේ සයිබරයේ කවියට ආදරය කරන මිනිස්සුට නිශ් වුනු නිශාන්ත නුඹ සුළං රැල්ලක් ව කියන ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය එක්ක එළියට එන්නේ නිශාන්ත ෆර්නෑන්ඩු විදියට. කොහොම වුනත් මන් කීව අපුරු හදවතක් හිමි කවියා ඔහු. ඔහුට කවිකම කියන්නේම ආත්ම ප්‍රකාශනයක්. තමන්ගේ ආත්මය නිදහස් කරගන්න මොහොතක්. හැම ප්‍රශ්නකටම පිළිතුරක් හොයන මොහොතක්. රිදුන හදවතක් සුවපත් කරගන්න ඖෂධ ගල්වන තත්පරයක්.

“ තාත්තා මැරුණ කාලේ ඒ වේදනාව එක්ක මන් කවියක් ලිව්වා. ඒ කවිය ආයෙම දවසක මට ලියවිලි අස්සේ තිබිලා හම්බුනාම මන් ඒක සයිබර් අවකාශය එකට එකතු කරා. ඒක තමයි එහෙම සයිබරයට එකතු කරපු පලවෙනි කවිය. එතැනින් ඉදන් නුඹ සුළං රැල්ලක්ව බිහි වෙනකම් මන් සයිබරයට කවි ලිව්වා. ඒ හැම කවියක්ම මන් මාව නිදහස් කරගන්න ලියපු දේවල් මිසක්. පෙරලා කිසිවක් බලාපොරොත්තුවෙන් ලියපු දේවල් නෙවෙයි. කවි ලියලා අත්හැරුණු දේවල් ලගා කර ගන්න මට උවමනාවක් නැහැ.

මගේ පොතට පාදක වුනු වෙන්නේ සමස්ත සමාජය එක්කම ගැටෙන ප්‍රේමයක්. ප්‍රේමයට නිර්වචන නැහැ. උපන්න දවසේ ඉදන්ම දැනුනු මාතෘ ප්‍රේමයේ ඉදන් ජිවිතේට යන එන හැම කෙනෙක් එක්කම තියෙන බැදීම් ගැනයි මන් නුඹ සුළං රැල්ලක් ව තුලින් කියන්න උත්සාහ කරේ. ජිවිතේ හැම අහිමිවීමක් ම කවියක් කියන්න බැහැ වගේම සමහර අහිමිවීම් කවි කරන්නත් බැහැ. නමුත් කවියෙක් වුනාම තමන්ගේ හර්ද සාක්ෂියට අවංක වෙන්න ඕනි. තමන්ගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් ජිවත් වෙන්න ඕනි. කවියක් ලියද්දී මන් මට ලියන්න ඕනි දේ ලියනවා. සමහර කියන්න ඕනි දේවල් යටි පෙලකින් කියනවා. සමහරු ඒ කවි තේරුම් ගන්නවා. සමහරු වෙන වෙන අරුත් ගන්නවා. ඒ වගේම තවත් සමහරු දන්නෙවත් නැතිව ඇති ඒ කවි ලිව්වේ එයාලට කියලා.

කවියෙක්ට තියෙන සමාජ වගකීම විදියට මන් දකින්නේ තමන්ගේ කවිය හොදට ලියන එක. එහෙම නැතිව මේ කවිය කියවලා මේ මනුස්සයා මෙහෙම හැදෙයි කියලා හෝ මේ කවිය කියලා හිත නිවෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒක වැරදියි. කවියෙක් කවදාවත් තමන්ගේ කවියකින් සමාජයට හානියක් කරන්නේ නැහැ. ඒ වගේම කවදාවත් සමාජයට කවියක් ගැන කවියට චෝදනා කරන්න අයිතියකුත් නැහැ ඒ කවිය එයාලට ප්‍රශ්නයක් වෙනවා කියලා. මොකද කවියක් ලියලා නිදහස් කලයින් පස්සේ ඒක පොදු දෙයක්. තමන්ගේ අත්දැකීම් හැගීම් අනුව තම තමන්ට එක එක විදියට දැනෙන දෙයක්.

කවියෙක් කවදාවත් විකුනන්න කවි ලියලා වැඩක් නැහැ . කවියෙක් කරන්න ඕනි කවි ලියලා සමාජ ගත කරන එක විතරයි. කවියේ හැඩය වෙනස් කරලා හොදට කවිය ලිව්වොත් මිනිස්සු ඒකට ආදරේ කරනවා. හොදම කවියටත් වැඩිය දැනෙන කවිය ලියන එක තමයි කවියාගේ වගකීම. “

ජිවිතයේ අප්‍රමාණ වූ ප්‍රේමයන් ට පිදුම ලියු ඔහු කවියෙක්ගේ ආත්ම ප්‍රකාශනය ගැන එහෙම කියද්දී, පෙරලුන පිටු අස්සෙන් මට තව කවියක් හමුවුනා.

මහා වැහි දිනවල අවන්හලක
උණු කෝපි රසවිදින සිහින

ඔබ කියන විදියට
ඔබේ ඉදිරිපස අසුනේ ඔබ
මහ වැස්ස දෙස බලාගෙන
මට ඔබව පෙනෙනුයේ
වැහි බින්දුවක් තරමට ලස්සනට
උණු කෝපි තරමට උනුහුමට
ආදරය

ඊට තවත් පිටුවක දෙකකට පස්සේ තවත් තැනක මෙහෙම තිබුනා.

නුඹ සුළං රැල්ලක් ව
හමාවිත්
මතක හලා යන
යළිත් සිත හැඩිකරන

දන්නවද ?
ඉදල් පහරකට
කොච්චරක් රිදෙනවා ද
හිත


ඒ හැම කවියක් ම දරා ගත්තු මහා මෙරක් බර ඒ හදවත එහෙමත් නැති නම් ඒ කඩදහි අස්සේ ගුලි ගැහිච්ච අකුරු හුළං රැල්ලක් ව කල එලි බසින්නේ ෆෙබරවාරි 17 වෙනි සෙනසුරාදාමහවැලි කේන්ද්‍රයේ දී හවස තුනට. විදින විදිවන වින්දනය කරන හැගීමක් ම එක්ක මොහොතකට තනි වෙන්න කැමති හැමෝටම එදාට එතැන අසුනක් තියෙනවා.

සංවාදය සහ සටහන - අරුණි කළුපහන

Saturday, February 10, 2018

හදවත රිද්දු මිනිසා ඔබ

හිත රිදෙන බව දැන දැන
හිත රිද්දු මිනිසා ඔබ
හද ගැහෙන බව දැන දැන
හදවත මරා දැමු මිනිසා ඔබ

අයිති නැති මුත් පෙම් බදින්නට
සිත තදින් අල්ලා ගත් මිනිසා ඔබ
මැරෙන උපදීන හිත හොදටම රිද්දා
නමක් නැති බැදීමට තිතක් තියන්නට
කැටයම් ඇල්ලු අසාධාරණ මිනිසා ඔබ


#අරුණි

2018/02/10